Gossips

රට ගොඩනැගිය හැක්කේ රටට ආදරය කරන පිරිසකගේ එකතුවෙන් බව ජනපති කියයි

රට ගොඩනැගිය හැක්කේ රටට ආදරය කරන පිරිසකගේ එකතුවකින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සදහන් කළේ අදට යෙදි ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා දින සැමරුම් උත්සවය අමතමින්.
කෙසේ වෙතත්, පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්සවයට සහභාගි වූ අතර එම අවස්ථාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග උත්සව සභාවේ සිටිනු දක්නට ලැබුණේ නැහැ.
මේ අතර, කාන්තා දිනය නිමිත්තෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති ජාතික සැමරුම් උත්සවයට ද ජනාධිපතිවරයා අද පෙරවරුවේ එක්වුණා.
සුහුරු කතක් – සොදුරු ලොවක් තේමාව යටතේ පැවති එම සැමරුම් උත්සවයට කාන්තාවන් 8000 කට වැඩි පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
1908 වසරේ ඇමරිකාවේ ඇගලූම් කර්මාන්තශාලාවක සේවිකාවන් පිරිසක් සිය වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා ආරම්භ කළ අරගලයෙන් ඇරඹි කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරයේ බලපෑමෙන් 1911 වසරේ මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කෙරුණා.
මේ අතර, ලෝක කාන්තා දින සැමරුමට සමගාමීව කාන්තාවන් සඳහා වෙන් වූ විශේෂ දුම්රිය මැදිරි සේවාව අද සිට ආරම්භ වුණා.
එසේම, ඉතිහාසයේ ප්‍රථම වතාවට පූර්ණ කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලන්කන් ගුවන් යානය ද අද කටුනායකින් පිටත්වී සිංගප්පූරුවට ළගාවීම විශේෂත්වයක්.