Gossips

රටේ තත්ත්වය ගැන කල්තැබීමේ විවාදයක්

රටේ ප්‍රදේශ කිහිපයක පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද පැවැත්වුණා.
ඒ, අද දිනට නියමිතව තිබූ කටයුතු හෙට දිනට කල් දමමින්. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල රටේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හදිසි විවාදයක් අවශ්‍ය බවට යෝජනා ඉදිරිපත් වී ඇති බව කථානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුවයි අදාළ විවාදය පැවැත්වූයේ.
කල්තැබීමේ විවාදය සඳහා වන යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බලය පවතින්නේ ආණ්ඩුවේ බැවින් මෙවැනි සිද්ධියක් ඇතිවන බවට තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම කණගාටුදායක බවයි.
එමෙන්ම ආණ්ඩුව පවතින්නේ සිද්ධියක් සිදුවීමෙන් පසු තොරතුරු වාර්තා කිරීමට නොවන බව ඔහු ප්‍රකාශ කළේ මෙම ආණ්ඩුව පශ්චාත් මරණ පරීක්ෂණ ආණ්ඩුවක් ලෙස හුවා දක්වමින්.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අවශ්‍ය වුවහොත් හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් ස්ථානවල අඩුපාඩු සිදුවූ බවද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවද ඔහු සඳහන් කළා.
අම්පාර සහ දිගන සිද්ධිවලින් නිවාසවලට අලාභහානි වීම, තුවාලවීම්, ජීවිත හානි සඳහා වන්දි ලබාදීමටද කටයුතු කරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජනතාවගේ ආරක්ෂාව සහ රටේ සාමකාමීත්වය වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එහිදී ප්‍රකාශ කළේ සිදුවූ සිද්ධිය පදනම් කරගනිමින් හෙට දිනයේදී ඒකාබද්ධ විපක්ෂය නුගේගොඩදී පැවැත්වීමට නියමිතව තිබූ රැළිය කල් දැමීමට තීරණය කළ බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද එහිදී ඔහු ප්‍රකාශ කළා.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ මෙම ගැටුම ඇති කිරීම සිදුව ඇත්තේ කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් බවයි.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිවැරදි ලෙස ක්‍රියා නොකිරීම නිසා මෙම ගැටුම වඩා දුරදිග ගිය බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.