Gossips

රටම කම්පා කරවූ මීතොටමුල්ල ඛේදවාචකයට මග පෑදු ඔබ මෙතෙක් නොදත් කතාව

අදින් වසර දෙකකට පෙර කො‍ළොන්නාව මීතොටමුල්ල කසල කන්ද අවට පදිංචිකරුවන් සුපුරුදු ලෙසින් නව වසරේ ප්‍රීතිය භුක්ති වින්දා.
නමුත් ඒ ප්‍රීතිය එක් මොහොතකින් සදාකාලික කදුලක් බවට පත්වූයේ තම නිවෙස් අසල තිබූ විසල් කුණු කන්ද තම හිස මතටම කඩාවැටීම සමගයි.
මේ ඛේදවාචකය සිදුවී වසර දෙකක් ගෙවෙන අද දිනයේ අප ඔබට හෙළිකරන්නේ එයට මගපෑදූ ඔබ මෙතෙක් නෑසූ කතාවයි.
2017 වසරේදී මුළු ලොවම අවධානය මෙරටට ලබාගැනීමට අප රට සමත්වුණා.
ඒ ඔලිම්පික් රන් පදක්කමක් දිනා හෝ න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලා නොව කුණුකන්දකට යටවී මිනිස් ජීවිත 32 ක් අහිමිවීමේ ඛේදවාචකයක් හේතුවෙන්.
කුණු කන්දකට මිනිසුන් යටකර දැමීමට තරම් තිරිසන් වූ පාලකයන් කවරහුද?
කොළඹ මහ නගර සභාව විසින් ඔවුන්ගේ බල ප්‍රදේශයේ කසල ඉවක් බවක් නොමැතිව බ්ලූමැන්ඩල් ප්‍රදේශයට බැහැර කල අතර ඒ හේතුවෙන් බ්ලූමැන්ඩල් කුණු කන්ද නිර්මාණය වුණා.
ඇතිවූ මහජන උද්ඝෝෂණ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් මත බ්ලූමැන්ඩල් කුණු කන්දට කුණු බැහැර කිරීම තහනම් කල අතර 2009 අප්‍රේල් මාසයේ සිට මීතොටමුල්ල – පොතුවිල්කුඹුර ප්‍රදේශයෙහි භූමියකින් අක්කර දෙකක ප්‍රමාණයකට වසර දෙකක් සදහා පමණක් කසල බැහැර කිරීමට අවසර ලබා දුන්නා.
කෙසේ වෙතත් කොළඹ මහනගර සභාව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉක්මවමින් වසර 08 ක කාලයක් මීතොටමුල්ලට කසල බැහැර කිරීම හේතුවෙන් අක්කර 2 කින් ආරම්භ වූ කසල කන්ද අක්කර 23 ක් දක්වා සහ උස මීටර් 48.5 ක් එනම් අඩි 159 ක් දක්වා ව්‍යාප්ත වුණා.
මහජන සෞඛ්‍යයට දැඩිලෙස තර්ජනයක් වූ මෙම කසල කන්ද පිළිබදව වරින්වර මහජන උද්ඝෝෂණ රැසක් ඇතිවුවද පාලකයන් ඔවුන්ට කන් නොදී සිටීමෙන් පමණක් නොනැවතී විරෝධතාකරුවන්ගේ ඔළු පළා දැමීමටද කටයුතු කළා.
කෙසේ වෙතත් අවසානයේ කිසිවෙකුත් නොසිතූ මොහොතක මීතොටමුල්ල කසල කන්ද නායගොස් මිනිස් ජීවිත 32ක් අහිමිවී තවත් 11 දෙනෙකු අතුරුදන් වුණා.
කසල කන්ද ඉල්ලමක් වූයේ කාටද?
මහනගර සභාවක කසල එම සභාවෙහි දේපලක් ලෙස සැලකිය යුතු වුවද කොළඹ මහ නගර සභාව විසින් කසල තම බල ප්‍රදේශයෙන් බැහැර ප්‍රදේශයන්ට ඉවත්කිරීම සදහාත්, කසළ කන්දෙහි කසල සමතලා කිරීම සදහාත් අධික වැයබරක් දරා පෞද්ගලික සමාගම් වෙත ලබාදී තිබෙනවා.
ගිවිසුම් කාලයකට පෞද්ගලික සමාගම් දෙකකට පවරා ඇති අතර ඒ සදහා නගර සභාව රුපියල් පන්සිය තිස් හතර කෝටි අනූ තුන් ලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය හැට දෙකක මුදලක් එනම් රුපියල් බිලියන පහමාරකට ආසන්න මුදලක් එම සමාගම්වලට ගෙවීමට ගිවිසුම් ගතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විගනකාධිපති දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයකදී අනාවරණය වුණේ මිල ගණන් කැඳවූ සෑම අවස්ථාවකදිම එම පෞද්ගලික සමාගම් දෙක සමග තවත් සමාගම් කිහිපයක් සාර්ථකව මිල ගණන් ඉදිරිපත් කර තිබුණද ඔවුන් ඇගැයීම සදහා සුදුසුකම් නොලබන ආයතන බවට පත්ව තිබූ බවයි.
එමෙන්ම නගර සභාවේ මිල ගණන් සමග ටෙන්ඩරය පිරිනැමූ ආයතනවල මිල ගණන් සැසදීමේදී නගර සභාවේ මිල ගණන්වලට වඩා 8% සිට 53% දක්වා ප්‍රමාණයකින් ටෙන්ඩර්කරුවන්ගේ මිල ගණන් වැඩි වී තිබියදීත් ඔවුන්ට අදාල ටෙන්ඩරය හිමිව තිබෙනවා.
තවද මේ සදහා ලංසු විවෘත කිරීමේ කමිටුවක් පත් කර නොතිබූ අතර ලංසුකරුවන් හෝ නියෝජිතයන් ඉදිරිපිටදී අදාල ලංසු විවෘත කර නොමැති බවයි විගනකාධිපති විශේෂ වාර්තාවේ සදහන්වන්නේ.
මෙයින් වැදගත්ම කරුණ වන්නේ කසල බැහැර කිරීම සදහා වන වාහන මිලදී ගැනීමට නගර සභාවෙන් ප්‍රතිපාදන වෙන් කර තිබුණද ඒවායින් සුළු මුදලක් වැයකොට වාහනයක් දෙකක් මිලදී ගෙන වැඩි මුදලක් යොදවා වාහන කුළියට ලබාගෙන තිබීමයි.
උදාහරණයක් ලෙස 2016 වසරේදී වාහන මිලදි ගැනීම සදහා නගර සභාව රුපියල් විසි හයකෝටි හතලිස් හතර ලක්ෂයක මුදලක් වෙන්කර තිබුණද ඉන් වාහන මිලදී ගැනීමට සදහා වියදම් කර තිබුණේ රුපියල් හයකෝටි පනස් අටලක්ෂයට ආසන්න මුදලකි.
නමුත් එම වසරේදී කසල බැහැර කිරීමට කුලී පදනම මත ලබාගත් වාහන සදහා නගර සභාව රුපියල් කෝටි විසි තුනකට අධික මුදලක් වැය කොට තිබීමෙන් බලධාරීන්ට කසල කෙතරම් ඉල්ලමක් වී තිබුණේදැයි හොදින් පැහැදිලි වනවා.
ඒ අනුව කුලී පදනම මත ලබාගත් වාහන සදහා වන ගෙවීම්වල වාර්ෂික වැඩිවීම 2010 දී 9.7% ක පැවති අතර එය 2016 වන විට 462.9% ක් දක්වා වී තිබුණි.
එසේනම් මුදලට ඇති කෑදරකමින් මිනිස් ජීවිත 32 ක් කසල ගොඩකට යටකර දැමුවේ කවුද? ඒ පිළිබදව හෙට හිරු ප්‍රවෘත්ති තුළින් අප රටට හෙළි කරනවා.