Gossips

රජ කුමරියගේ අගමැති සිහිනය තායි රජුගේ දෝෂදර්ශනයට

සිය වැඩිමහල් සොහොයුරිය වන රාජකන්‍යා කුමරිය තායි අගමැති ධුරය සඳහා තරඟ වැදීමේ තීරණය තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබෙනවා.
67 හැවිරිදි ඇය තායි රක්ෂ චාට් පක්ෂයේ අගමැති අපේක්ෂිකාව ලෙස තරඟ වැදීමටයි තීරණය කළේ.
එය තායිලන්ත ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැදින්වෙන්නේ මෙතෙක් එරට රාජකීයන් ක්‍රියාකාරී දේශපාලනයට එක් නොවීම හේතුවෙන්.
භූමිබෝල් රජුගේ සහ සිරිකිට් රැජිණගේ වැඩිමහල් දරුවා ලෙස ස්විට්සර්ලන්තයේ උපන් උබෝල්රත්නා රාජකන්‍යා ප්‍රංශ බසින් ලපුපේ හෙවත් බෝනික්කා යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනවා.
තායි රජ මැදුර ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රාජකන්‍යා කුමරිය මැතිවරණයට ඉදිරිපත්වීම නුසුදුසු කරුණක් මෙන්ම ව්‍යවස්ථා විරෝධී පියවරක් බවයි.
තායිලන්ත රජු සහ රජ පවුල දේශපාලනයෙන් ඉහළ තලයක පවතින බවයි මහා වජිරලොන්කෝන් රජු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
තායිලන්ත මහමැතිවරණය මාර්තු 24 වන දා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉදිරිපත් වන බව වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඕචා ද ප්‍රකාශ කළා.