Gossips

රජයේ වෛද්‍යවරුන් අද වර්ජනයේ

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක නිරතවනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ උදෑසන අටට ආරම්භ කරන මෙම වර්ජනය මාතෘ සහ ළමා රෝහල්, පිළිකා ආයතනය සහ වකුගඩු සායනවල ක්‍රියාත්මක නොවන බවයි.
මේ අතර නව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතයි.
එහි සභාපති අරුණ කණුගල කියා සිටියේ මීට සමගාමීව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිරිපිට අද රාත්‍රියේ නිහඩ විරෝධතාවක් පැවැත්වීමට සූදානම් කර ඇති බවයි.
ගුවන් තොටුපල සහ වරාය ආගමන – විගමන නිලධාරීන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වන බවද ඔහු කියා සිටියා.
එමෙන්ම දිගුකාලීන විදුලි ජනන සැලැස්මට මහජන උපයෝගී කොමිසම මෙතෙක් අනුමැතිය ලබානොදීමට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.