Gossips

රජයේ පාසලක අමතර පන්ති පවත්වා සිසුන්ගෙන් මුදල් ලබා ගත්බවට චෝදනාවක්

ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් කණ්ඩලම ඩී.එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික පාසලේ ගුරුවරුන් අමතර පන්ති පවත්වා සිසුන්ගෙන් මුදල් ලබා ගන්නා බවට දෙමව්පියන් චෝදනා කරනවා.
පාසල් කාලයෙන් පසු 3 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන්ගෙන් මෙලෙස උපකාරක පන්ති පවත්වා මුදල් ලබා ගන්නා බව සඳහන්.
මේ සම්බන්ධයෙන් ගලේවෙල අධ්‍යාපන කලාපයට දෙමාපියන් විසින් දැනුම්දීම් සිදුකළ ද ඊට බලධාරින් නිසි ප්‍රතිචාරයක් දක්වා නැහැ.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිරු ප්‍රාදේශීය වාර්තාකරු ඊයේ (27) පස්වරුවේ එහි ගිය අවස්ථාවේදී උපකාරක පන්ති පවත්වන ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා.
උපකාරක පන්ති සඳහා රුපියල් 500 ක් අය කර ගන්නා බවයි සිසුන් සඳහන් කළේ.
පාසල තුළ මුදලට උපකාරක පන්ති පැවැත්වීම තහනම් අතර, මේ සම්බන්ධයෙන් විමසීමට ගලේවෙල අධ්‍යාපන කලාප අධ්‍යක්ෂිකා නයෝමි
හෙට්ටිආරච්චි සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය උත්සාහ කළ ද එය සාර්ථක නොවූයේ ඇය සාකච්ඡාවකට එක්ව ඇති බවට දැනුම්දීම හේතුවෙන්.