Gossips

රජයේ අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීමේ වගකීම ආයතන ප්‍රධානීන්ට පැවරේ

රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැර සේවක පිරිස් තබාගැනීම සම්බන්ධයෙන් වන වගකීම එම ආයතනවල ප්‍රධානීන් භාරගත යුතු බව රජය පවසනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම අතිරේක සේවක පිරිස් සඳහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ආයතන සභාපතිවරුන්, විධායක නිලධාරීන් සහ ගණකාධිකාරීවරුන් වගකිව යුතු බවයි.
එමෙන්ම රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් වැනි ව්‍යවස්ථාපිත ගෙවීම් නිසි කළට ගෙවීමේ වගකීමද ආයතන ප්‍රධානීන් සතුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
රාජ්‍ය සේවයේ දැනට සිටින සේවකයන් සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය යටතේ පවතින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් ඉදිරි දින කිහිපයේදී චක්‍රලේඛයක් නිකුත් කිරිමට ද නියමිතයි.
මේ වනවිට අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවකයන් 7500 කට වැඩි පිරිසක් රාජ්‍ය ආයතනවල සේවය කරන බවට වාර්තාවී තිබෙනවා.
2017 වසර අවසන් වනවිට සමස්ත රාජ්‍ය අංශයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු පළාත් සභා සහ පළාත්පාලන ආයතන මෙන්ම රාජ්‍ය ව්‍යවසායන්හි 13 ලක්ෂ 75499 දෙනෙකු සේවය කරන බවට ගණනය කර තිබෙනවා.
2017 වසරේදී රාජ්‍ය සේවයට බඳවාගැනීම් 23,224 ක් සිදුකර ඇති අතර, එම වසර තුළ විශ්‍රාම ගෙන ඇති රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව 5,000 ක්.
මේ අතර විවිධ හේතූන් මත සේවයෙන් පහ කර ඇති රජයේ සේවකයන්ගේ සංඛ්‍යාව 246ක්.
රාජ්‍ය අංශයේ සංවර්ධන නිලධාරී සේවයේ අනුමත තනතුරු 74,872 ක් තිබෙන අතර, දැනට එහි 18,000 කට ආසන්න සංඛ්‍යාවක තනතුරු පුරප්පාඩු පවතින බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම එම සංවර්ධන නිලධාරීන්ට බොහෝ ආයතනවල නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුබද්ධ පැවරීමක් සිදුකර නොමැති බවටද තොරතුරු ලැබී තිබෙනවා.
අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවකයන්ගේ වගකීම ආයතන ප්‍රධානීන්ට පැවරෙන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවී ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.