Gossips

රජයක් වෙනස් කිරීමේදී හඩ අනුව තීරණ ගැනීම කාලෝචිත නැහැ – ජනපති සර්ව පාක්ෂික හමුවේදී කියයි

පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමට ජනාධිපතිවරයා කැඳවා තිබූ සර්වපාක්ෂික හමුවේදී ඊට එක්වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ නායකයින් එකඟත්වයක් ඇතිකරගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා.
පාර්ලිමේන්තුවේ වත්මන් තත්ත්වය සහ ඉදිරි වැඩකටයුතු සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කැඳවූ මෙම සර්ව පාක්ෂික හමුව ඊයේ පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදියි.
එය පැය 2 කට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත්‍රශීලීව පැවති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය තවදුරටත් නිවේදනය කළේ.
ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සුදුසු තීරණයක් ගැනීමටත් ඊයේ එකඟතාවකට පැමිණ තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම හමුවේදී පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා ඇත්තේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිතයෙන් ඡන්දය ගණනය කිරීම අත්‍යාවශ්‍ය බවයි.
එය තමන්ටත්, රටේ උගත් බුද්ධිමත් ජනතාවටත්, අන්තර්ජාතිකවත් වඩාත් පිළිගත හැකි ක්‍රමය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේදී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් මන්ත්‍රීවරුන්ගේ හඩ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නොවන අතර, එහි විනිවිදභාවයක් නොමැති බවයි ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ.
ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික හමුවට කථානායක කරූ ජයසූරිය සහ ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වූයේ නැහැ.
පස්වරු 5 ට පමණ ආරම්භ වූ මෙම හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටියා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ අජිත් පී පෙරේරා එක්වුණා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ යන පක්ෂ සහ කණ්ඩායම්වල නායකයින් මෙන්ම නියෝජිතයින්ද සහභාගිවී සිටියා.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මෙම හමුවට එක්වුණා.
ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන ඊ.පී.ඞී.පී. සංවිධානයේ නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්ද සහභාගිවී සිටියා.
මේ අතර, සර්ව පාක්ෂික හමුවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල සහ අජිත් පී. පෙරේරා මෙලෙස අදහස් දක්වා සිටියා. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මන්ත්‍රීවරු 113 කට වැඩි පිරිසකගේ දිවුරුම් ප්‍රකාශ ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවයි.