Gossips

රංගේ බණ්ඩාරගේ පුත් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුර සිදුවන අවස්ථාවේදී බීමතින් සිට ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇති බැවින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඔහු අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු පරීක්ෂණයක් සදහා හලාවත රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන විත් තිබූ අතර, පසුව සිය කැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් අද අලූයම අනතුරට ලක්වුණේ හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මංසන්ධියේදීයි.
එහිදී තුවාල ලැබූ ඔහු සහ එහි සිටි පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හලාවත මහරෝහලට ඇතුළත් කෙරුණා.
වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් කැබ් රථය පාරෙන් ඉවතට පැන යාබද නිවසක් තුළට කඩාවැදී තිබුණා.
මීට පෙර ද රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ගමන් ගත් මෝටර් රථ අනතුරට ලක්වූ අවස්ථා වාර්තාවූ අතර, ආණමඩුව – ඉඟිනිමිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මාර්ගයේ ගමන් කරමින් සිටි එකම පවුලේ පියා, මව සහ දරුවන් දෙදෙනා තුවාල ලැබුවා.
ඔවුන් තවමත් ප්‍රතිකාර ලබන බවටයි වාර්තාවන්නේ.
මේ අතර අද අලූයම අනතුරට සිදුවන අවස්ථාවේදී ඔහු පැදවූ කැබ් රථය රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මීට පෙර කටයුතු කළ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
එම රථයේ ආදායම් බලපත්‍රය එම අමත්‍යාංශය නමට තිබුණත් එය මේ වසරේ රක්ෂණය කර ඇත්තේ පාලිත රංගේ බණ්ඩාර දැනට රාජ්‍ය අමාත්‍ය ධුරය දරණ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයටයි.
මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.