Gossips

රංගේගේ පුතා ගැන වාර්තාව අධිකරණයට

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරගේ රිය අනතුර සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය අද උදෑසන හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා.
විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ යශෝධ රංගේ බණ්ඩාර මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
ඔහු අත්අඩංගුවට ගැනීමට අදාලව අධිකරණයට කරුණු වාර්තා කරන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළා.
රිය අනතුර සිදුවන අවස්ථාවේදී යශෝධ රංගේබණ්ඩාර බීමතින් සිට ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් දැනටමත් තහවුරු වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් ඊයේ අලූයම අනතුරට ලක්වුණේ හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මංසන්ධියේදීයි.
වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් කැබ් රථය පාරෙන් ඉවතට පැන අසල පිහිටි නිවසක් තුළට කඩාවැදී තිබුණු අතර, මේ නිසා නිවසේ දේපල වලට දැඩි අලාභ හානි සිදු වුණා.
සිද්ධියෙන් තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා හලාවත මහ රෝහලට ඇතුලත් කෙරුණු අතර පසුව පරීක්ෂණ සඳහා ඔහුව කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා.
ඉන් අනතුරුව මොහු සිය කැමැත්තෙන්ම රෝහලෙන් පිටව ගොස් ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත්ව තිබෙනවා.