Gossips

යුරෝ ෆෝ ඉන්ධන ප්‍රමිතිය සහිත රථ වාහන ආනයනය ගැටළුවක් නොමැති බව තවත් සංගමයක් කියයි

යුරෝ ෆෝ, ඉන්ධන ප්‍රමිතිය සහිත රථ වාහන ආනයනයේදී ගැටළු මතු නොවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති රංජන් පීරිස් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් යූරෝ ෆෝ නමින් නව ඉන්ධන ප්‍රමිතියක් වෙළඳපොලට හඳුන්වාදීමත් සමඟ ඉදිරියේදී ජපන් වාහන ආනයනය නතර කිරීමට සිදුවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කළා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ යුරෝ ෆෝ ඉන්ධන ප්‍රමිතියට අදාළව රජය ලබාදුන් නව නීති අනුව එය ගෙන්වීමට බාධා මතුව ඇති බවයි.
ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් යූරෝ ෆෝ නමින් නව ඉන්ධන වර්ගයක් පසුගිය 02 වැනිදා වෙළඳපොලට හඳුන්වා දෙනු ලැබුවා.
පරිසර දූෂණය අවම වන ආකාරයෙන් මෙම ඉන්ධන නිෂ්පාදනය කර ඇති බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කළේ.
යූරෝ ෆෝ වර්ගය යටතේ පෙට්‍රල් සහ ඩීසල් වර්ග දෙකම වෙළඳපොලෙන් කලින් පැවති මිලටම ලබා ගත හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන වෙළඳපොළට හඳුන්වාදීම නිසා ඕක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් හෝ ඔටෝ ඩීසල් වෙළඳපොලෙන් ඉවත් නොවන බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළා.
යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන හඳුන්වාදෙනු ලබන්නේ දැනට වෙළඳපොලේ භාවිතා කරන ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සාමාන්‍ය සුපිරි ඩීසල් සඳහා ආදේශක ලෙසයි.
යුරෝපා කොමිසම මගින් පරිසර හිතකාමී බව ඉහළ මට්ටමක ඉන්ධන වර්ගයක් ලෙස යුරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන අනුමත කර තිබෙනවා.