තමන් ඕනෑම ආකාරයකින්, ඕනෑම වාතාවරණයක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැඩිව සහ අවිවාදාත්මකව විරුද්ධත්වය පළ කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කළා.
එම සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ඒ පිළිබදව ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ ලක් රජය වසර 40කට පසු නැවතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට පවතින වාර්තා පිළිබදව පැහැදිලි කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් ද යොමු කළ බවයි.
මරණ දඬුවම මිනිසත්බවේ ගෞරවනීයත්වයට නොගැලපෙන ක්‍රියාවක් ලෙස ද යුරෝපා සංගමය හඳුන්වනු ලැබුවා.
එය කිසිදු ආකාරයකින් ප්‍රතිඵලදායක නොවන බව ද තහවුරු වී ඇති කරුණක්.
යුක්තිය පසිදලීමේ දෝෂයන් හිදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසීම නැවත සැකසිය නොහැකි වරදක් ලෙස ද යුරෝපා සංගමය අවධාරණය කළා. මේ හේතුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ක්‍රියාත්මක වන ‘පමා සහනය’ තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසත්, මරණ දඬුවමට එරෙහි ශ්‍රී ලංකාවේ සම්ප්රදාය තවදුරටත් තහවුරු කරන ලෙසත් යුරෝපා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.
අදාළ නිවේදනය නිකුත් කිරීම සඳහා යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත, රොමේනියානු සහ නෝර්වීජියානු තානාපති කාර්යාල මෙන්ම කැනඩා මහකොමසාරිස් කාර්යාලය ද එක්ව තිබෙනවා.
කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැඳවියන් 18 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ කටයුතු කර තිබුණා.
ඒ අනුව මරණ දණ්ඩනය නියම වූ එම ලැයිස්තුවේ ප්‍රථමයෙන් රැඳී සිටින්නේ කාන්තාවක් බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාළ කහවත්තේ අද පැවැති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ.
මේ අතර, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වූවන්ට මරණ දණ්ඩනය ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කරමින් සිටින අතර, වධක තනතුර සඳහා ඉල්ලුම්පත් කැදවීම ඉදිරි සතිය තුළදී ආරම්භ කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රජය එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නේ නම් වධක තනතුර සඳහා වැටුපකින් තොරව තමන් ඉදිරිපත් වන බව හලාවත – ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි එල්.බී. කරුණාවතී සඳහන් කළා.
මේ අතර, පසුගිය 13 වන දා පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබදව පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධවූවන්, දානපතියන් ලෙස සහ රොටරි හා සිංහ සමාජ වැනි සංවිධානවලට මුවා වී ඒවායේ නිරත වන බවට තමා සිදුකළ ප්‍රකාශය පිළිබදව කණගාටුව පළ කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද නිවේදනයක් නිකුත් කළා.
එහිදී ඔහු කියා සිටියේ මරණ දඬුවමට තමාගේ විරුද්ධත්වය තවදුරටත් ප්‍රකාශ කරන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අදාළ සංවිධාන සම්බන්ධ කිරීම තුළින් කිසිවෙකුටත් සිත් වේදනාවක් සිදුවූයේ නම් සමාව අයදින බවයි.