Gossips

යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් දිවයිනට

යුරෝපා පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් හෙට (04) දිවයිනට පැමිණෙනවා.
යුරෝපා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබද කමිටුවේ සාමාජිකයන් ඊට ඇතුළත් වන අතර, එහි දකුණු ආසියාව පිළිබද විශේෂ නියෝජිතයා ද ඒ අතර සිටින බවයි කොළඹ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සඳහන් කළේ.
අප්‍රේල් 06 වන දා දක්වා දිවයිනේ රැදී සිටින ඔවුන්ගේ චාරිකාවේ ප්‍රධාන අරමුණක් වන්නේ ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය, ශ්‍රී ලංකාවට නැවත ලබාදීමේ ප්‍රතිඵල ඇගයීමයි.
යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීමට පවතින අභියෝගයන් පිළිබද සංවාදය අඛණ්ඩව පවත්වා ගැනීම ද එහි අරමුණක් බවයි යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට අඛණ්ඩව සහය දක්වන බවයි.
2010 සිට 2019 දක්වා කාලය තුළ ඒ සඳහා වැය කරන මුදල යුරෝ මිලියන 6.2ක්. බ්‍රිතාන්‍යය හැලෝ ට්‍රස්ට් ආයතනය සමඟ මේ වන විට දිවයිනේ උතුරු නැගෙනහිර වර්ග මීටර් හය ලක්ෂයකට වැඩි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව බිම් බෝම්බ පිටු දැකීමේ ඔටාවා සම්මුතියට අත්සන් තැබීමෙන්, වසර 2020 වන විට මෙරට බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට රජයේ ඇති කැපවීම පිළිබිඹු වන බවයි, බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ.
මේ අතර, ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව පිළිබද සාකච්ඡා සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවලදී දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළා.