Gossips

යුද හමුදාවෙන් රජයට වාර්තාවක්

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගියදා ඇති වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව විසින් රජයට කරුණු වාර්තා කර තිබෙනවා.
යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක අප කළ විමසීමකදී කියා සිටියේ මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ සාමකාමී තත්ත්වයක් පවතින බවට මෙලෙස රජයට කරුණු වාර්තා කළ බවයි.
ඒ අනුව, සාමාන්‍ය සිවිල් පරිපාලනය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ දෛනික කටයුතු පවත්වාගෙන යා හැකි බව ද එමගින් පෙන්වා දී තිබෙනවා.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලීසියේ තවත් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් අද (16) දිනයේත්, මහනුවර දිස්ත්‍රික්කයේ පරීක්ෂණ කටයුතුවල අඛන්ඩව නිරතව සිටිනවා.
මෙම කලහකාරි සිදුවීම් සමඟ පසුගිය 6 වනදා ජනාධිපතිවරයා විසින් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහජන ආරක්ෂක පනතේ දෙවන කොටස බලාත්මක කරමින් ජනාධිපතිවරයාට පැවරෙන බලතල වලට අනුවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයාට දින 10 ක් සඳහා මෙලෙස හදිසි නීතිය පැනවිය හැකි අතර, එය තවදුරටත් දීර්ඝ කරන්නේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වනවා.
අදට එම දින 10 සම්පූර්ණ වනවා.
පසුගියදා අප කළ විමසීමකදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ ආරක්ෂක මණ්ඩල හමුවකින් පසු හදිසි නීතිය පිළිබඳඅවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි.