Gossips

යාල කලාප – 01 මාස දෙකකට වැසේ

පවතින වියළි කාලගුණ තත්ත්වය සහ වන සතුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 කොටස මාස දෙකක කාලයක් සඳහා වසා දැමීමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, එම කාලය තුළ කතරගම ගල්ගේ පිවිසුමෙන් යාල කලාප අංක දෙක, තුන සහ හතර යන කොටස්වලට සංචාරකයින්ට ඇතුළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කලාප අංක 01 කොටස තුළ මාර්ග පද්ධති අලුත්වැඩියා කිරීම, වනජිවින්ට නිදහසේ හැසිරීමට අවස්ථාව ලබාදීම සහ වියළි කාලගුණික තත්ත්වයත් සමඟ සතුන් දඩයම් කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි වනජිවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
දින ගණනාවක් තිස්සේ පවතින නියං තත්ත්වය හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනසතුන් මුහුණදී සිටින්නේ උග්‍ර පානීය ජය ගැටලූවකටයි.
මේ හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වාසය කරන සත්ත්වයින් ජලය සොයා වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වීම ආරම්භ වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
එම නිසා මුවන්, ගෝනුන්, කුළු ගවයින් සහ මීමින්නන් වැනි සිව්පාවන් දිවියන්ගේ ගොදුරු බවට පත්වන බව වනජිවි නිලධාරින්ගේ අදහසයි.
කෙසේ වෙතත්, බවුසර් රථ මගින් උද්‍යානයේ තැන තැන සකස් කරන ලද වලවල් වෙත ජලය පිරවීම මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.
මේ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව උග්‍ර ජල හිඟයකට මුහුණපා තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක පවුල් 11,000 ක පමණ පිරිසක් මේ වනවිට වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.
මේ අතර, වියළි කාලගුණය හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය දින නියමයක් නොමැතිව යළි වසා දැමීමට විශ්වවිද්‍යාල පරිපාලනය තීරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් ලබන 3 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට සිදුවන බවයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කළේ.