Gossips

යාපනයේ සුළිපුරම් දැරිය ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී අපයෝජනය කර, ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඔවුන් දෙදෙනා දැරියගේ ඝාතනයට ඍජුවම සම්බන්ධ බවට සැක කෙරෙන 17 හැවිරිදි වියේ පසුවන තරුණයින් බවයි.
පසුගිය 27 වන දා ඝාතනයට සම්බන්ධ 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු එම දියණියගේ ඥාතියෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
යාපනය – සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී පසුගිය 25 වන දින දැරියගේ මළ සිරුර සොයාගත් අතර, යාපනය රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූයේ ඇයගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි.
පාසල් ගොස් නැවත නිවස වෙත නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව සිදුකළ සොයා බැලීමකදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබී සොයා ගනු ලැබුවා.
ප්‍රධාන සැකකරු පාසල නිම වී පැමිණි දැරිය කුරුල්ලන් පෙන්වීමට යැයි පවසමින් අසල ළඳු කැළෑවකට රැගෙන ගොස් අපයෝජනය කර තිබුණා.
එම අවස්ථාවේදී දැරිය සිහිසුන්වී ඇති අතර, බියට පත් වූ සැකකරු දැරිය මියගොස් ඇතැයි උපකල්පනය කර ගෙළ මිරිකා ළිඳට දමා ඇති බවයි පොලීසිය කියා සිටියේ.