Gossips

යාපනයයේ දී ඝාතනයට ලක් වූ දැරිය අවසන් ගමන් යයි (ඡායාරූප)

යාපනය ප්‍රදේශයේදි ඝාතනයට ලක්වු වයස අවුරුදු හයක් වු ශිවනේශ්වරන් රෙජීනා දැරියගේ අවසන් කටයුතු දෙමාපියන්, ගම්වාසීන්ගේ සෝ සුසුම් මැද ඊයේ (26) සවස යාපනය සුළිපුරම් තිරුවෙඩි‍නිලෙයි සුසාන භූමියේදී සිදුකරනු ලැබුවා.
දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (26) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර, දැරියගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව එහිදි අනාවරණය වු බවයි වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවසුවේ.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නිවස වෙත ගෙනා මළ සිරුර සම්බන්ධයෙන් අවසන් ගෞරව පැවැත්වීම ඊයේ (26) සවස සිදුකළ අතර, අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව සිරුර මිහිදන් කෙරුණා.
පාසල් නිළ ඇඳුමකින් සැරසි සිටි පාසල් දැරියකගේ මළ සිරුරක් යාපනය සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි ඉකුත් (25) සවස සොයා ගැනුනා.
පොලිසිය පැවසූවේ දැරිය ඉකුත් (25) පාසල් ගොස් නැවත නි‍වස වෙත නොපැමිණ ඇති අතර, දැරිය නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබි සොයාගත් බවයි.
පොලිසිය පැවසූවේ කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලද රෙජීනා දැරියගේ සිරුරක් එලෙස සොයාගත් බවයි.
සිරුර ඊයේ(25) සවස ළිදෙන් ගොඩගෙන යාපනය රෝහල යොමු කොට තිබු අතර, එහිදි දැරියගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදුව ඇති බවට අනාවරණය වි ඇති බවද පොලිසිය සදහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ පුද්ගලයා දැරියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ සම්බන්ධයක් ඇති බවද යාපනය ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන තිබෙනවා.
දැරියගේ මළ සිරුරේ ගෙල ප්‍රදේශයේ තුවාල කැළල් තිබු අතර, ‍අදාළ තුවාල පරීක්ෂා කිරීමේදී දැරියගේ ගෙල සිරකොට මරා දමා ඇති බවට තහවුරු වි තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා වඩ්ඩුකොඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ ‍මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය