Gossips

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය 20 වනදා සිට

සියළුම යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම මේ මස 20 වැනිදා සිට ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එය මේ මස 28 වැනිදායින් අවසන් කළ යුතු බවටයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පෞද්ගලිකවම භාවිත කරන සියළුම යාන්ත්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ලියාපදිංචි බලපත්‍රයක් ළඟ තබාගත යුතු වනවා.
අදාළ ලියාපදිංචියෙන් පසු හඳුනා ගැනීම සඳහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක්ද නිකුත් කිරීමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගය පරිදි ආරක්ෂක අමාත්‍යාංශය මගින් ගනු ලැබූ තීරණයක් අනුව මෙරට භාවිත කරන සියළුම යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරුණා.
වන විනාශය පාලනය කිරීම, යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරීම සහ ගස් කැපීම නියාමනය කිරීම මෙහි අරමුණයි.