Gossips

යහපාලන ආණ්ඩුවේ ණය ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

යහපාලන ආණ්ඩුව මුලසිටම ණය ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ වගකීම් විරහිත ක්‍රියාකලාපයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
පාර්ලිමේන්තුවෙන් වසරක් පාසා පනවන ණය ගැනීමේ සීමාව ඉක්මවා විධායකයට වෙනම රුපියල් බිලියන දහසක ණය ලබාගැනීමට හැකිවන පරිදි සම්පාදනය කෙරෙන සක්‍රීය බැරකම් කළමණාකරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.
යහපාලන ආණ්ඩුව පසුගිය වසර තුනක කාලය තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හරහා ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක් ණය ලබාගෙන ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
ඊට අමතරව පසුගිය වසර 3ක කාලයේදී රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලූ තවත් මූලාශ්‍ර කිහිපයකින් ඇමරිකානු ඩොලර් බිලියන 9 ක මුදලක් ලබාගෙන ඇති බව සඳහන් කරන ඔහු යහපාලන රජය බලයට පත්වීමෙන් පසු මෙලෙස ලබාගත් විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 16.7 ක් බව පවසනවා.
පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය අවසන්වීමට පෙර විගණකාධිපතිවරයා රජය ගෙන ඇති ණය ප්‍රමාණය කුමක්දැයි තමන් නොදන්නා බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළ බවත්, එය සිදුවිය නොහැක්කක් බවත් අදාළ නිවේදනයෙන් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
අදාළ කාරණා පදනම් කරගනිමින් මෙරට සියලූම පුරවැසියන් යෝජිත සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනතට එරෙහි විය යුතු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.