Gossips

යහපාලනය ගැන අවසන් තීරණයකට කමිටුවක්

යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම තීරණය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර එකඟතාවයක් ඇති වී තිබෙනවා.
ඒ, ඔවුන් දෙදෙනා සහ එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර ජනාධිපති නිළ නිවසේ ඊයේ (13) රාත්‍රියේ පැවති හමුවේදියි.
මෙම කමිටුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතයන් 05 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතයන් 05 දෙනෙකු පත් කිරීමට නියමිත බව සඳහන්.
එම නියෝජිතයන් පත් කිරීම අද (14) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්විමෙන් පසුව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
එසේම එම කමිටුවේ තීරණය අද පස්වරුවේ ජනාධිපතිවරයා වෙත ලබාදීමට ද එකඟතාවයකට පැමිණි බවයි වාර්තා වන්නේ.
පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුණ එම පෙරමුණේ මැති ඇමතිවරුන් අවස්ථා 03කදී අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා.
ඊයේ දහවල් පළමු හමුව පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟයි.
එම හමුවේදී මෙම මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පවත්වාගෙන යා යුතු බවයි.
ඉන් පසුව එජාපයේ තවත් මැති ඇමතිවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර අවසන් සාකච්ඡාව පැවතුණේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් සමඟයි.
ඊට පාඨලී චම්පික රණවක, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.
පවතින ආණ්ඩුව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට අදාළ සාකච්ඡාවේදී තීරණය වූ බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.
එමෙන්ම ආණ්ඩුවේ සිටීමට කැමති නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව තුළ කටයුතු කිරීමටත් ඊට අකමැති නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යාමටත් හැකි බවට එහිදී තීරණය වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.