Gossips

යලි ජාතික ආණ්ඩුවකට එජාපයේ පසුපෙළ අකමැත්තෙන්

යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිසිවිටෙකත් කැමැත්ත පළ නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ඉදිරි ජනාධිපතිවරණය දක්වා ස්ථාවරව රට පාලනය කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුතුව ජාතික ආණ්ඩුවකට එළඹීමට සැලසුම් කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩ්. ලාල්කාන්ත ඊයේ කියා සිටියේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සමඟ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමේ අරමුණක් තම පක්ෂයට නොමැති බවයි.
මේ අතර අගුණකොලපැලැස්ස ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීරද යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් ඊයේ අදහස් දක්වා සිටියා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කියා සිටියේ පසුගිය ජාතික ආණ්ඩුවෙන් වැඩිම පාඩුව සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයට බවයි.