Gossips

යතුරුපැදි සොරකම් කළ අයෙක් මීගමුවේදී පොලිස් දැලේ

විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙකු මීගමුව නීතිය බලාත්මක කිරීමේ පොලිස් ඒකකය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කටාන ප්‍රදේශයේ පදිංචිකරු එක්දරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සැකකරු වෘතියෙන් කාර්මික ශිල්පියෙක් වන අතර ඔහු සූදුවට ඇබ්බැහිව සිට ඇති බව සඳහන්.
අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට ඇති යතුරුපැදි මිලදී ගන්නා බව පවසමින් ඒවායේ හිමිකරුවන් රවටා සැකකරු විසින් එම යතරුපැදි සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස සොරකම් කරන යතුරුපැදි හෝමාගම, මහරගම, තබ්බෝව, කෑගල්ල, මීරිගම වැනි ප්‍රදේශවලට අලෙවිකර තිබෙනවා.
සූදු ක්‍රීඩාව සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට සැකකරු විසින් මෙලෙස යතුරුපැදි සොරකම් කර ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු විසින් සොරකම් කරන යතුරුපැදි 10ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බව සඳහන්.