Gossips

මෝදිට අභියෝග කරන්න නව විපක්ෂ සන්ධානයක්

මේ වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් එල්ල කරමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සමාජවාදී පක්ෂ දෙකක් සන්ධානගතවී තිබෙනවා.
මායාවතීගේ නායකත්වයෙන් යුත් බහුජන් සමාජ් පක්ෂය සහ අකිලේෂ් යාදව් ගේ සමාජ්වාදී පක්ෂයයි මෙලෙස සන්ධාන ගතවී ඇත්තේ.
මිලියන 220 ක ජනගහණයක් වෙසෙන ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වූ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දීය දේශපාලනයේ වැදගත් ක්‍රමෝපාය කේන්ද්‍රයක් ද වනවා.
ලෝක් සභා හෙවත් ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 552 කින් ආසන 80 ක්ම වෙන්වන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයටයි.
2014 වසරේදී අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය එම ප්‍රාන්තය තුළ විශාල ජයග්‍රහණයක් අත්කරගැනීමට සමත්වූවත් නව සන්ධානය ඊට ප්‍රබල අභියෝගයක් ලෙසයි සැළකෙන්නේ.
නව සමාජවාදී සන්ධානය කොංග්‍රස් පක්ෂය සමඟ එක්වීමට අදහස් නොකරන බව ප්‍රකාශ කළද, ඍජුවම මෝදි විරෝධී සන්ධානයක් බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.
නව සන්ධානයට තමන් ගරු කරන බව කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිද ප්‍රකාශ කර තිබෙනවා.
නවතම මත සමීක්ෂණවලට අනුව ප්‍රකාශ වන්නේ නරේන්ද්‍ර මෝදිට මෙවර මහ මැතිවරණයෙන් බහුතරයක් ලබාගැනීම දුෂ්කර වනු ඇති බවයි.
ඒ අනුව රජයක් පිහිටුවීමේදී එය කොංග්‍රස් පක්ෂයට සහය පළ කිරීමේ ප්‍රවණතාවක් පවතින බව සඳහන්.