මෛත්‍රී, රනිල්, මහින්ද බලයට කුළල් කාගන්නවා – ගොවිජනතා ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ – වී මිල රු. 27ට බහිද්දී හාල් මිල රු. 80ත් පැනලා
වී අස්වැන්න නෙලීම ආරම්භ වනවාත් සමගම වී මිල රුපියල් 27 දක්වා අඩු වී ඇති බවත් හාල් මිල රුපියල් 80දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෛත්‍රී, රනිල්, මහින්ද බලය වෙනුවෙන් කුළල් කාගනිමින් ඉන්නි නමුත් ගොවිජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වන බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
පසුගිය 18වනදා වාරියපොළ බයව වෙල් යායේ සිට බයව ගොවි සංවිධාන නියෝජතයින්ගේද මැදිහත්වීමෙන් පවත්වන ලද මාධ්‍ය හමුවේදී නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය.
එම අවස්ථාවට ගොවි නායකයින් විශාල පිරිසක්ද සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික සංජීව කරුණාසාගර මහතාද එක්වී සිටි අතර එහිදී වැඩිදුරටත් මාධ්‍ය ඇමතූ නාමල් කරුණාරත්න මහතා…
“අද ගොවි ජනතාව බරපතල ප්‍රශ්න රාශියකට මුහුණ දීලා තියෙනවා. එකක් කමයි සමහර ගොවියෝ කන්න කපලා දැන් අස්වැන්න ගමින් ඉන්නවා. තාම මහ වාරි ගොයම් කපන්න පටන් ගත්තේ නැහැ. හැබැයි මේ වෙනකොට වී මිල රුපියල් 27 දක්වා පහළ බැහැලා තියෙනවා. තව පොළොන්නරුවේ, අනුරාධපුරයේ කන්තලේ ව්‍යාපාරයේ අත ගහලවත් නැහැ. ලංකාවේ වැඩිම වී නිශ්පාදනයක් තිබෙන අම්පාරේ, සේනානායක සමුද්‍රයේ තාම අත ගහලවත් නැහැ. තාම මහා පරිමාණයෙන් ගොයම් කපන්න පටන් ගත්තේ නැහැ කසකාරයෝ විතරයි ආවේ. සුළු වාරිවල විතරයි තාම ගොයම් කැපෙන්නේ. හැබැයි වී මිල රුපියල් 27 දක්වා වැටෙද්දී හාල් මිල රුපියල් 80ත් පැනලා. මහා පරිමාණයෙන් වී අස්වැන්න එනකොට මේ වී මිල තවත් බහිනවා. ඒක එක ප්‍රශ්නයක්. වගා කරලා හානි වෙච්ච ගොවීන්ට වන්දි දෙන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. රක්ෂණය වෙච්ච ගොවියටත් වෙලා තියෙන්නේ රක්ෂණේ ගන්න නිලධාරියාට කෝල් එකක් ගත්තම ඇහෙන සිංදුවත් අහගෙන නැව ගිලුනත් බෑං චූං කියලා ඉන්න. ඒක තමයි දීලා තියෙන ටෙලිෆෝන් නම්බරේට කෝල් දුන්නම ලැබෙන උත්තරේ. වගා කරලා හානි වෙච්ච මින්ස්සුන්ට ලැබෙන ඒ වන්දියත් ලැබෙන්නේ නෑ. දැන් මේ අපි ඉන්න පඬුවස්නුවර ආසනේ විලිබාගෙදර කුඹුරු යාය කන්න පහකින් වගා කරලා නැහැ. අවුරුදු දෙකහමාරක් තිස්සේ මේ අම්මා තාත්තට වී ඇටයක් ගෙට ගන්න බැරි වුණා. වී මිල රුපියල් 27ට බහිද්දී මේ අම්මා තාත්තා රුපියල් 80ට ගන්න හාල් කනවා. වැඩිය කඩේ හාල් කාපු මිනිස්සු නෙවෙයි මේ අය.
මේ කුල්ල, උදැල්ල, නගුලට රාජකාරියක් නැතිවෙලා මකුළුදැල් බැඳිලා. කුළි වැඩක් කරගෙන කීයක් හරි පණං දෙකක් හොයාගෙන අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න වෙලා. පහුගිය දවස්වල ගොවි ජනතාවට කොන්ක්‍රීට් අනලා, බදාම අනලා, සිකුරිටි ජොබ් එකක් කරලා කීයක් හරි හොයාගෙන හාල් කිලෝ එක රුපියල් එකසීය ගාණට කන්න වුණා. මෙන්න මේ තත්ත්වයක් එක්ක අපි ආණ්ඩුවට බල කරලා කියනනේ වගා කරන්න බැරි වෙච්ච ගොවීන්ට වන්දි ගෙවන්න ඕනි. ඊළඟට වගා කරලා හානි වෙච්ච ගොවීන්ට වන්දි ගෙවන්න ඕන. ඊළඟ කාරණය තමයි දැන් ගොයම් කපන ගොවියට සාධාරණ මිලක් ලබා දෙන්න ඕන.
ඒ වගේම තමයි ජල ප්රශ්නය. දැන් මේ ජනතාව යෝජනා කරලා තියෙනවා කොළමුණුඔය උස්සාන වාරි යෝජනා ක්‍රමය. මේකට වාරිමාර්ග එකෙන් ලිවුමකුත් එවලා තියෙනවා හැබැයි ඒක වගකීමක් ඇතුව එවපු ලිවුමක් නෙවෙයි. කෝටි තුන හතරක් තිබ්බා නම් මේ කොළමුණුඔය හරස් කරලා ඒකේ වතුර ටික පාවිච්චි කරලා මේ වැව් පද්ධතියට වතුර ටික දාන්න පුළුවන්. එහෙම දැම්මනම් අපි මේ ඉන්න කුඹුරු යාය යළ මහ වගා කරන්න පුළුවන්. දැන් මේ වතුර නැතුව නෙවෙයි වතුර තියෙනවා වතුර මුහුදට ගලාගෙන යනවා. දැනුත් දෝරේ ගලනවා. හැබැයි මේ අම්මා තාත්තට කන්න පහක් වගා කරන්න බැරිවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සල්ලි දීලා බොන්න වතුර ටික ගන්න වෙලා තියෙනවා. එහෙමනන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා වැව් පද්ධතියට වතුර ටික දුන්නා නම් කුඹුරු ටිකත් වැඩ කරනවා පොල් ගස් ටිකට ගොඩ බෝග ටිකට වතුර ටික ලැබෙනවා ළිංවලට වතුර ටික එනවා උල්පත් පෑදෙනවා මේ ප්‍රදේශය සශ්‍රීක වෙනවා. හැබැයි මේවා කරන්න මේ නායකයොන්ට කිසිම උවමනාවක් නැහැ. මේ ගොල්ලොන්ට මේවා නෙවෙයි ප්‍රශ්න. අගමැති රනිල්ද, මහින්දද, නිමල්ද කියන එක තමයි ප්‍රශ්නේ.
ප්‍රාදේශීය සභා ඡන්දයක් තිබ්බා ප්‍රාදේශීය සභාව ගැන නෙවෙයි කතාව. කවුද ආණ්ඩුව. පුළුවන්නම් බහුතරේ පෙන්නන්න. හරියට තාච්චි පනිනවා වගේ. රටේ නායකයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පොඩි එවුන් ගානට වැටිලා. ඒ නිසා රටම අස්ථාවර වෙලා තියෙනවා. රුපියල බාල්දු වෙනවා. ඩොලර් එකකට ගෙවන්න තියෙන ගාන එන්න එන්නම වැඩි වෙනවා. විදේශ විනිමය අඩුවෙලා ආයෝජකයෝ මෙහාට එන්නේ නැහැ. රට හැමතැනම අරාජික තත්ත්වයක් උද්ගතවෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ උඹලගේ බලලෝභි අගමැති සෙල්ලම නතර කරපල්ලා. මේ අසමත් ආණ්ඩුව අස් වෙන්න ඕන. මේ තත්ත්වයත් එක්ක ගොවි ජනතාවගේ ප්‍රශ්නවලට කන්දෙන්න ඕන.
පහුගිය කාලේ ලොකු සංවාදයක් ආවනේ පොල් ලෙල්ලක් දැම්මත් දිනනවනේ කියලා. පොල් ලේල්ලටත් දැන් ලොකු වටිනාකමක් තියෙනවා. අර කොතලාවල මහත්තයා පනස් ගණන්වල කියනවානේ පොල් පිත්තක් දැම්මත් දිනනවනේ කියලා. එහෙනම් මේ කතාව අදටත් වලංගු වෙනවා කියන එක මේ කියන්නේ. හඳට, අඟහරු ලෝකෙට යන්න හදන ලෝකෙක මේ කතාව වලංගු වෙලා තියෙනවා. ඇත්තටම පොල් ලෙල්ලක්, පොල් පිත්තක් පත් කර ගත්තත් හොදයි කියලා හිතෙනවා වෙලාවකට. මොකද මේ පණ තියෙන එවුන් පත් කර ගත්තම උන් මහබැංකුවට කෙළිනවා, රටේ සල්ලි උත්පාදනය කරනවා වෙනුවට කාබාසිනියා කරනවා.
දැන් කැකිරාව ප්‍රාදේශිය සභාවේ හබරණ කොට්ඨාශේ පක්ෂය දිනුවට අපේකෂකයෙක් නැහැ. කොට්ඨාශේ දිනුවා මන්ත්‍රී කෙනෙක් නැහැ. දැන් මහරගම බලන්න. කණ්ඩායමක් දිනලා ඉන්නවා එක්කෙනෙක් අංශභාග රෝගියෙක්. ලයිස්තුවේ ඉන්න 11 දෙනෙක් බඩල්ගම. ඒ අයගෙන් සමහර අය මහරගම පස් පාගලාවත් නැහැ. මේක තමයි අපේ රටේ ඡන්දදායකයගේ තත්ත්වේ. මේවාගේ විහිළු සපයන තත්ත්වයකට ඡන්දදායකයත්, ආපේක්ෂකයොත් පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවට අපි කියනවා මේ තත්ත්වය තේරුම් අරන් කටයුතු කරන්න කියලා. අපි ආණ්ඩුවට කියනවා මේ ගොවි ජනතාව තවත් හෙම්බත් කරන්නේ නැතුව කොකා පේන්වන්නේ නැතුව ප්‍රශ්නවලට විසදුම් දෙන්න කියලා.
මේ කොළමුණුඔය උස්සාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න දයාසිරි ජයසේකර ඇමතිතුමාගේ ආසනේ ඉදන් මේ කියන්නේ. දයාසිරි, ඉන්දික බණ්ඩාරනායක ඔය දෙන්නම ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක. ඒ වගේම තමයි වයඹ මහඇමති ධර්මසිරි දසනායක මේ හැමෝටම අපි කියනවා පොරොන්දු වුණ විදියට ප්‍රදේශයේ වගකිවයුතු මන්ත්‍රීවරු හැටියට මේ සඳහා මැදිහත් වෙන්න. හැබැයි මේකට මැදිහත් නොවෙනවානම් කරන්න ඔනි දේ අපි දන්නවා කියන එකත් මතක් කරන්න ඕන. හොරකම් කරන්න නාස්ති කරන්න සල්ලි තියෙනවා ඇයි මේ සල්ලි ටිකක් වියදම් කරලා මේ ප්‍රශ්නේ විසදන්න බැරි.
වගා බදු අරමුදල අගමැතිතුමා යටතේ තියෙන්නේ. මේ අරමුදල පිහිටවූවේ 2013 දී. මේකට සල්ලි එන්නේ සියළුම මූල්‍ය ආයතන බැංකු, රක්ෂණ සමාගම් මේ සියල්ලෙ ලාභෙන් 1%ක් වගා බදු අරමුදලට එකතු වෙනවා. අවුරුද්දකට කෝටි 160ක පමණ මුදලක් එකතු වෙනවා. මේ වෙනකොට වගා බදු අරමුදලේ කෝටි 800ක් පමණ තිබෙන්න ඕන. හැබැයි පහුගිය දවසේ ගොවියට රුපියල් 40,000ක් ගෙවන්න පොරොන්දු වෙච්ච වෙලාවේ කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා වගා බදු අරමුදලට කොටි 700ක් ගෙවන්න කියලා හැබැයි ලැබුණේ කෝටි 150යි සල්ලි නැහැ කියනවා. ඉතිරි සල්ලි කොහෙද කියලා ඇහුවම ඒවා පහුගිය ආණ්ඩුව හොරකම් කරලා කියනවා. අපිට ලැබුණේ හිස් අරමුදලක් කියලා.
මේ ආණ්ඩුව ආවේ හොරු අල්ලන්නනේ. අපි අහනවා මේ ආණ්ඩුව ආවයින් පස්සේ අරමුදලට එකතු වූ කෝටි 400ක පමණ මුදල කොහෙද කියලා. පැහැදිළිවම වගා බදු අරමුදල ඇති කරලා තියෙන්නේ ගොවීන්ට වන්දි ගෙවන්න. මේ වගා බදු අරමුදලේ සත පහක් වෙන කිසිම කාරණාවකට යොදවන්න බැහැ. මේ සල්ලි ගොවි ජනතාවට කිසියම් අකටයුත්තක් වෙච්ච අවස්ථාවක අලින්ගෙන් වේවා, නියඟෙන් වේවා, වතුරෙන් වේවා එහෙම නැත්නම් විශේෂ තත්ත්වයක් යටතේ වේවා ගොවියට හානියක් වුණොත් වන්දි ගෙවන්න තමයි මේ අරමුදල පිහිටවවුවේ. එහෙමනන් මේ වගා බදු අරමුදල පාවිච්චි කරලා මේ ගොවි ජනතාවට වන්දි ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා.
හැබැයි දැන් මේ වගා බදු අරමුදල හිස් කරලා තියෙනවා. මොකක්ද ඒකට වුණේ? මේක හෙයන්න ඕන. අගමැතිතුමා යටතේ තිබ්බ මහ බැංකුවට කෙලියා. මේ වගා බදු අරමුදලත් තියෙන්නේ අගමැතිතුමා යටතේ. මෙහෙම කෙළපු අගමැතිතුමාට වාහාම අස්වෙලා යන්න කියලා අපි කියනවා. ඒ වගේම ජනාධිපතිතුමත් පාරම්බෑවට මේ ඡන්දයේදී පීචං වෙලානි තියෙන්නේ. කෝ හැට දෙලක්ෂයක් ඡන්ද ගත්තට දැන් මොකද වෙලා තියෙන්නේ. ඒ නිසා මේක අගමැති පිටින් දාලා අත පිහිද ගන්න ජනාධිපතිතුමාට අයිතියක් නැහැ. ඔය කවුරු කවුරුත් වග කියන්න ඕන. ඒ නිසා අපි කියනනේ දැන් ආණ්ඩුව මේකට කන් දෙන්න ඕන. මේකට කන් දීලා වගා බදු අරමුදලට මොකද වුණේ කියලා හොයන්න ඕනි. ඒ වගේම මේ ගොවි ජනතාවට වන්දි ගෙවන්න ඕනි. ඒ වාගේම මේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මුදල් වෙන් කරලා ඒ සඳහා මැදිහත් වෙන්න ඕනි. එහෙම ආණ්ඩුව පියවර ගන්නේ නැත්තම්, මෙහෙම කියලා ඇහෙන්නේ නැත්නම් ඇහෙන විදියට කියන්නත් අපි සූදානම් බව ආණ්ඩුවට අනතුරු අඟවනවා.
මේ හැමතැනම අම්මලා තාත්තලා ණය වෙලා. කන කර උකස් තියලා මේ කාන්තාවෝ දිහා බැලුවොත් තමන්ගේ රත්තරං බඩු එකක්වත් නැහැ. ඔක්කකොම ඉමිටේෂන් දිලා ඉන්නේ. ගෙදර තිබ්බ වතුර මැෂින් එක, පුට් සයිකලය ඒවා උකස් තියලා. හැම කැනම මරණාධාර සමිතිවලට පවා ණය වෙලා. බැංකුවට ණය වෙලා. ඒක නිසා කරුණාකරලා ගොවි ජනතාවගේ ප්‍රශ්නයට ආණ්ඩුව කන් දෙන්න ඕන.
කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාගේ නිල කාලය ගිය 09 වැනිදා ගෙන් අවසානයි. හැබැයි දැන් තාමත් ඒ ප්‍රශ්නේ විසඳිලත් නැහැ. ඔහු තාම පුටුවෙන් බැහැලා ගිහිල්ලත් නැහැ. දැන් එහෙම තියෙද්දී කෘෂි රක්ෂණ නිලධාරීන්ට ආණ්ඩුවෙන් ලියුමක් එවලා තියෙනවා තමන්ගේ පඩි, පරිපාලන වියදම් තමන්ම හොයා ගන්න කියලා. ඊට පස්සේ මේ ජනවාරි මාසයේ ඒගොල්ලොන්ට පඩි එව්වේ භාගයයි. ඒගොල්ලොන්ට මේ මුදල් හොයාගන්න වෙන්නේ ගොවියගෙන්. දැන් ඒ අයගේ පඩිත් ගෙවන්න ගොවියට සිදු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ තකහනියක් රුපියල් 675 ගානේ ගොවියගෙන් එකතු කරන්න ලෑස්ති වුණේ.
කන්න දෙකකට රුපියල් 675 ඒවා දෙකක් ගෙවන්න ඕන. අක්කර 02ක් තියෙන ගොවියා 675 ඒවා 04ක් ගෙවන්න ඕන අවුරුද්දකට. දැන් ඒ ගොවියට වන්දි නැහැ. වගා බදු අරමුදලක් තියෙනවා ඒ ගැන හාන්කවිසියක්වත් නැහැ. මෙහෙම තියෙද්දී මේක ප්‍රවර්ධනය කිරීමට කියලා වෙනම විශේෂයෙන් හදපු ඇඩ් එකක් තියෙනවා. ඒ සඳහා දැනට ආරංචි විදියට ලක්ෂ 25ක් පමණ වියදම් වෙලා තියෙනවා. ඒ තරම් මුදලක් වියදම් කරලත් තාම ඇඩ් එක ප්‍රදර්ශනය කරලත් නැහැ. මේ තරම් විශාල රටේ ජනතාවගේ මුදලක් නාස්ති කරලා තියෙනවා. ඒක එක පැත්තක්.
කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ හිස් ගොඩනැගිල්ලකට ලක්ෂ 245 ගානේ මේ වෙනකොට අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගෙවලා තියෙනවා. මේ ජනතාවගේ සල්ලි. දුමින්ද දිසානායකගෙන් මේක අහනකොට කියනවා ඒක මගේ වැඩක් නෙවෙයි අගමැතිගේ වැඩක් කියලා. එකිනෙකාට බෝලේ පාස් කර ගන්න එක විතරයි කරනනේ. තොහෙම නමුත් අපි කියන්නේ මේ ජනතාවගේ සල්ලි තමයි කාබාසිනියා කරන්නේ. කරන්න ඕන වහාම මේකට මැදිහත් වෙන එක. දැන් වෙලා තියෙන්නේ කවුද අගමැති, කවුද ජනාධිපති, කවුද ආණ්ඩුව මොකක්ද බහුතරය කියන එක අමතක වෙලා තියෙන්නේ.
පොහෙට්ටුවට ඡන්දය දුන්නු ඡන්දදායකයින්ට අපේක්ෂකයෝ මොකක්ද කිවුවේ. මහින්ද මහත්තයා අගමැති කරන්න ඡන්දෙ දෙන්න කිවුවා. දැන් මහින්ද මහත්තයා දිනුවා. මහින්ද මහත්තයා අගමැති වෙනවා වෙනුවට ඇයි එයා අගමැතිතුමාට කෝල් කරලා අගමැති පුටුවෙන් අයින් වෙන්න එපා කියන්නේ. දැන් රාජිත සේනාරත්න තහවුරු කරලම කියනවා මේවා කතා කරා කියලා. ඊට පස්සේ රනිල් මහත්තයා මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රකාශයක් කරද්දි මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කරනකොට හිටපු ජනාධිපතිතුමා කතා කරාද කියලා, ඔවු කතා කරා කියනවා. දින්නම අගමැති වෙනවා කියපු මහින්ද මහත්තයාගේ කට්ටිය ඔය කරන්නේ ඡන්දදායකයා බලාපොරොත්තු වූ දේ ඉෂ්ඨ කරන එකද.
එහෙමනන් මේ තත්ත්වය තුළ ඡන්දදායකයෝ රවට්ටලා මේ අය කරන්නේ මොකක්ද. මෛත්‍රිපාල මහත්තයයි, රනිල් මහත්තයයි, මහින්ද මහත්තයයි මේ හැමෝම කරන්නේ ජනතාව රවට්ටන එකනේ. ඔය දේශපාලන ප්රවාහයන් තුනටම ලොකු වගකීමක් තියෙනවා මේ ගොවි ජනතා ප්‍රශ්න විසඳන්න. ඒ නිසා ජනතාව මේ විදියට රවට්ටන්න එපා කියලා අපි කියනවා. මේ රට අස්ථාවර කරන්න එපා. රට ස්ථාවරව තියන්න මේ අයට ලොකු වගකීමක් තියෙනවා. මේවා ඇතුළේ ගොවි ජනතාවගේ ප්‍රශ්න අමතක කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ නිසා මේ ප්‍රශ්නෙදී ගොවි ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ කරන්න. අපි කිසිසේත්ම ජනතාවගේ ප්‍රශ්න අමතක කරන්න දෙන්නේ නැහැ.
ප්‍රදේශයේ මවක්
“මට අවුරුදු 66ක් වෙනවා. වතුර ටිකක් බොන්න නැහැ ලීටර් 45 කෑන් දෙක විල්බැරැක්කයේ තියාගෙන වතුර ගෙනාවේ ගෙදරට. ඊට පස්සේ අත කර තිබ්බ ඒවා බැංකුවේ තියලා නලයක් ගැහුවා ලක්ෂ දෙකයි තිහක් විතර ගියා. දැන් බඩු ටික බේරගන්න විදියක් නැහැ. ජීවත් වෙනන් විදියක් නැහැ ළමයා මේසන් වැඩ කරන්නේ. ඉතිං බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ළමයි දෙන්නෙක් ඉස්කෝලේ යනවා. මහත්තයාට සනීප නැහැ. අපි පොඩි කඩයක් දාගෙන බෙහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපේ මේ දුක බලලා මොනවා හරි කරලා දෙන්න කියලා තමයි කියන්නේ.”
පී.එම්. සෝමරත්න මහතා
“අදට මගේ වයස අවුරුදු 58ක්. ඇත්තටම මේ නියගයට අවුරුදු දෙක හමාරක් වෙනවා. කොළමුණුඔයෙන් වතුර ගන්න ක්‍රම තියෙනවා. එහෙම තියෙද්දිත් අපි බාගෙට මැරිලා. බොන්න, නාන්න වතුර නැහැ. මේ මාස් කන්නයේ අහස් දියෙන් තමයි අපි ගොවිතැන් කරන්නේ. ඇත්තටම මන්ත්‍රීතුමා අපි අහස දිහා බලාගෙන ගොවිතැන් කරනවා මේ කන්නෙවත් පැහෙයි කියලා හිතාගෙන. කන්න පහක් මැරිලා තියෙද්දී මින්ස්සු කන්න බොන්න නැතුව, වී ඇටයක් නැතුව ඉන්නේ. බලන්නකො මහත්තයා මේ පොල් ගස්වල හැටි කන්නෙන් කන්න පොල් ගස් ටික මැරිලා යනවා. ඒ නිසා මේ පාර කුඹුරු වැඩ කරලා ඉන්න අතරතුරේ අපි ගොවි නියාමක මහත්වරුන්ට කිව්වාට පස්සේ අපෙන් අක්කරේට රුපියල් 680ක් අරගෙන පොඩි රක්ෂණයක් දැම්මා. මීට එහා තියෙන කුඹුරු නම් වගා කළා. ඒත් අපි මේ ඉන්නකුඹුරු නම් කන්න පහකින් වගා කරලා නැහැ. මොකද ඔය කදුවලින් එන අගාර පාරවල්වලින් කුඹුරුවලට වතුර එකතු වෙච්චාම මිනිස්සු බලාගෙන ඉන්නේ නැහැ. හාලා වී ඉහිනවා. දැන් පීදෙනකොට ගොයම මැරිලා තියෙන්නේ.
රක්ෂණය වෙලා තියෙන නිසා ගොවි නියාමක මහත්වරුන්ට අපි කිවුවා දැන් ගොයම මැරිලා තියෙන්නේ කියලා. ඒ අය කියනවා අපිට කියලා වැඩක් නැහැ ගොවි රක්ෂණ අරමුදලට කතා කරන්න කියලා. ඒකට කොහොමද කතා කරන්නේ කියලා ඇහුවම කියනවා 1918ට කතා කරලා 1 ඔබන්න. එත්කොට හරි කියලා. අපි කතා කරාම අපිට දෙන්නේ සින්දුවක්. දැන් මේ අපේ මහත්තයෙක් කිවුවා රුපියල් 84ක් ගියා කියලා ඒ සින්දුව අහන්න. ඇත්තටම කනවගොමුව ගෙවිජන සේවා එකේ මහත්තයා මං දන්න පරිදි ඔය රක්ෂණය වෙච්චි කට්ටියට ඉල්ලුම් පත්‍ර තුනයි දීලා තියෙන්නේ. මේ කිසි කෙනෙකුට තාම ඉල්ලුම් පත්‍ර හම්බවෙලා නැහැ. සින්දුව තමයි යන්නේ.
මම විශේෂ දෙයක් විදියට කියන්නේ අපි මේ තාක් දුරට මහල් වාගේ දේවල් කඩෙන් කෑවේ නැහැ අනෙකුත් දේවල් ගත්තට. නමුක් මේ වනවිට අපි කවුරුත් ඒවලට වැටිලා ඉන්නවා. එ්කට හේතුව තමයි මේ නියඟය. අවුරුදු 66 වන මාගේ ජීවිත කාලයටම බලපාපු විශාලම නියඟය තමයි මේ ඇති වෙලා තියෙන්නේ. අපි මේ ගම්මාන කිහිපයක ජනතාව එකතුවෙලා ගරුතර ස්වාමීන් වහන්සේලා, ස්වෙච්ඡා සංවිධාන දැනුවත් කරලා මේ කොළමුණුඔය උස්සාන ජල යෝජනා ක්‍රමය අපි යොඩනා කරලා තියෙනවා. ගැටලුව තමයි අපි”
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික සංජීව කරුණාසාරග
“රුපියල් 50,000 ක වන්දි මුදලක් ඉල්ලලා සටන් කළාට පස්සේ ආණෟඩුව මේ අවුරුද්දේ අයවැයෙන් රක්ෂණ ක්‍රමයක් හැදුවා. ඒක හදලා ගොවියගෙන් රුපියල් 675ක මුදලක් එකතු කරලා වගාව විනාශ වුනොත් නතා කරන්න කියලා මෙන්න මේ ෆෝන් නම්බර් එක දුන්නා. ඒකෙන් අහන්න වෙලා තියෙන්නේ සින්දුවක්. මේ මැරිච්ච ගොයම සම්බන්ධයෙන් ක්‍රයාමාර්ග නිලධාරීන් විසින් ගන්න ඕන. ගොයමේ තත්ත්වය බලලා රක්ෂණය ගෙවන්නේ කොහොමද කියන ක්‍රමවේදය හදලා තිබුණත් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උදාවෙලා තියෙනවා.
මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙවුවේ පඬුවස් නුවර විතරක් නෙවෙයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ බහුතරයක්. අහස් දියෙන් සහ සුළුවාරි වලින් කුඹුරු කරන ගොවියන් වගේම අනෙකුත් වගාවන් කරන ගොවියනුත් අමාරුවේ වැටිලා තියෙනවා. අද මේ එකතු කළේ විල්බාගෙදර අවට ප්‍රෙද්ශයේ ජනතාව විතරයි. ආණ්ඩුවට ලැබුණු මැතිවරණ ප්‍රතිඵලයත් සළකලා, ඊට වැඩිය නරක ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. තමන්ගේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අවධානය යෙමු කරලා ඉල්ලපු රුපියල් 40,000 වන්දියත් ඉතිරි රුපියල් 30,000ත් පහුගිය මාස් කන්නය වෙනුවෙනුත් වන්දියක් ලබාදෙන ලෙසත්, එහෙම නැතිනම් කුරුණෑගල විතරක් නෙවෙයි මුළු රටේම වගා නොකරපු ගොවියෝ එකතු කරගෙන ජනාධිපතිතුමෝ අගමැතිතුමෝ කෘෂිකර්ම ඇමතිතුමෝ අපි තමුන්නාන්සේලාගේ ගෙදරට එනවා.
ඒ නිසා ලෑස්තිවෙලා ඉන්න ගොවි ජනතාව බඩගින්නේ ඉන්නේ. අපි සූදානම් ඔවුන් සමඟ ඔබ හමුවට එන්න. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව දැන් ලෑස්ති වෙන්න ඕන දීර්ඝ කාලීන නියගයක් නම් එන්නේ ඒ්කට සූදානම් වෙන්න. මේ පඬුවස් නුවර ආසනයේ ජලාශ දෙකක් ඔයවල් දෙකක් මහ මුහුදට ගලාගෙන යනවා කිසිම ප්‍රයෝජනයකට නොගෙන. මේ ආසන්නයේ තියෙන කොළමුණුඔය ගලාගෙන යනවා. මේ උස්සාන ජල යොජනා ක්‍රමය ගැන ජනාධිපතිතුමා අගමැතිතුමාව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ ව්‍යාපෘතිවලට අත තියලා මේ හොරකම් කරන නාස්ති කරන මුදල් බඩගින්දර නිවන්න යොදවන්න ලෑස්ති වෙන්න. එහෙම නොවුනොත් අපි ලෑස්තියි සටනට කියන යොජනාව කරන්න කැමතියි.