ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිතයි.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබදව සාකච්ඡා කිරීම සඳහායි.
මීට අමතරව පවතින දේශපාලන කරුණු පිළිබදව ද මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට පෙර අවස්ථා 3කදී රැස්වී සාකච්ඡා කළ අතර, එහි මීළඟ සාකච්ඡා වටය ලබන මස 9 වනදා පැවැත්වීමට නියමිතයි.
පසුගිය සාකච්ඡාවේදී එළඹි එකඟතාවට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්, මධ්‍යම කාරක සභික මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ.