Gossips

මෙරට මානව හිමිකම් ප්‍රගතිය සීමිත බවට ඇමරිකානු වාර්තාවක්

පසුගිය 2017 වසරේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් වර්ධනය අතින් ලබා ඇත්තේ සීමිත ප්‍රගතියක් බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.
එමෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් ශ්‍රී ලංකාවෙන් තවදුරටත් වාර්තා වන බව එමගින් නිකුත් කළ වාර්ෂික මානව හිමිකම් වාර්තාවේ සඳහන්.
එක්සත් ජනපදය රාජ්‍ය දෙපාර්තමේන්තුව සකස් කරන මානව හිමිකම් භාවිතයන් පිළිබඳ වාර්ෂික වාර්තාව එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ජෝන් ජේ. සුලෙයිවන් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඇතුළු අත්අඩංගුවට පත්වූවන් වධ හිංසනවලට ලක්වීම තවදුරටත් සිදුවන බව එක්සත් ජනපද මානව හිමිකම් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
මානව හිමිකම් සංවිධාන සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී ඒ බව හෙළි වී යැයි එම වාර්තාවේ දැක්වෙනවා.
අත්තනෝමතික ඝාතන පිළිබඳවද ඇමරිකානු මානව හිමිකම් වාර්තාව මගින් චෝදනාවක් එල්ල කරනු ලැබුවා.
බලහත්කාරයෙන් ප්‍රකාශ ලබා ගැනීම් මෙන්ම නීතිඥ සහ ඥාතීන්ගේ සහය ලබා ගැනීම වැළැක්වීම ද එහිදී දැකිය හැකි බවයි එම වාර්තාවේ සදහන් වන්නේ.
2017 වසර තුළ මෙරට අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීමේ සිද්ධීන් 118ක් පිළිබද පැමිණිලි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලැබී ඇති බවත්, ඇමරිකානු වාර්තාවෙන් සිහිපත් කර තිබෙනවා.