Gossips

මෙරට කුඩු ජාවාරම මෙහෙය වූ, බංග්ලාදේශ මහමොළකාරියට ජාත්‍යන්තර වරෙන්තු

මෙරට ඉතිහාසයේ සොයා ගත් විශාලතම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගනු ලැබූ බංග්ලාදේශ ජාතිකයන් පිළිබද ඉදිරි පරීක්ෂණ සඳහා බංග්ලාදේශ මත්ද්‍රව්‍ය පාලන දෙපාර්තමේන්තුව ද සහය දැක්වීම සඳහා ඉදිරිපත් වී සිටිනවා.
ඒ අනුව එහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දා දෙහිවල ප්‍රදේශයෙන් රුපියල් මිලියන 3336කට ආසන්න වටිනාකමකින් යුත් මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය වන කිලෝග්‍රෑම් 278 ක් සමඟින් බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
එසේම රුපියල් මිලියන 75කට අධික කොකේන් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් ද එම නිවස තුළ තිබී සොයා ගැනුණා.
එම බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිීසියට අවසර ලබා දුන්නා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ බංග්ලාදේශ මත්ද්‍රව්‍ය පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන්ගේ නිවෙස් වෙත ගොස් පරීක්ෂණ පවත්වා ඇති බවයි.
එහිදී අනාවරණ කර ගත් තොරතුරු මෙරට පොලීසිය සමඟ හුවමාරු කර ගැනීම සඳහා ඔවුන් මෙරටට පැමිණෙන බව සඳහන්.
ඒ සඳහා බංග්ලාදේශ මත්ද්‍රව්‍ය පාලන දෙපාර්තමේන්තුව, සාර්ක් කලාපීය මත්ද්‍රව්‍ය අධීක්ෂණ කාර්යාලය හරහා ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුවයි ඊට සුදුසු දින වකවානු මෙරට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් බංග්ලාදේශයට දැනුම් දී ඇත්තේ.
මෙරට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානය ලෙස සැලකුණු දෙහිවල – නිවසේ සිට අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් මෙහෙයවා ඇත්තේ බංග්ලාදේශ ජාතික කාන්තාවක විසින් බව දැන් අනාවරණ වී තිබෙනවා.
මෙරට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයේ මහ මොළකාරිය ලෙස සැලකිය හැකි ඇය, අත්අඩංගුවට ගැනීම සඳහා දැන් පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.
ඒ සඳහා මේ වන විට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන ඇති අතර ජාත්‍යන්තර පොලීසිය වෙත දැනුම් දීමක් ද කර තිබෙනවා.
මේ අතර, බංග්ලාදේශ ජාතිකයන් සමඟ ක්‍රියාත්මක වූ මෙරට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය ඉන්දියාවේ මුම්බායි හි පාතාල නායකයෙකු වන ඩාවුඩ් ඊබ්‍රහිම් සමඟ ද සබඳතාවක් පවත්වා ඇති බව ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය සඳහන් කළා.
ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ සිට පාකිස්තානය හරහා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සඳහා ඔහුගේ පාතාල කල්ලිය ද සම්බන්ධ වී ඇති බව විශ්වාස කෙරෙනවා. ශ්‍රී ලංකාවේ සිට එම මත්ද්‍රව්‍ය වෙනත් රටවලට ද බෙදා හැර ඇති බවයි ඒෂියන් ටි‍්‍රබියුන් අනාවරණ කළේ.