Gossips

මෙගාවොට් 220 ක් ලබාගත හොත් කප්පාදුව නැවැත්විය හැකියි

විදුලි අර්බුදය හමුවේ පෞද්ගලික බලාගාර දෙකකින් තවදුරටත් විදුලිය ලබා ගැනීම සඳහා වසර දෙකක කාලයකට ගිවිසුම් ගතවීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එම බලාගාර වන්නේ ඒෂියා පවර් සහ මාතර ඒස් යන බලාගාර දෙකයි.
මීට පෙරද විදුලි අර්බුදයක් උද්ගතවූ අවස්ථාවලදී මෙම බලාගාරවලින් විදුලිය මිලදී ගත් අතර, ඇතැම් මිලදී ගැනීම් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේද ප්‍රශ්න කෙරුණා.
මෙම බලාගාර දෙකෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අපේක්ෂිත විදුලිබල ධාරිතාව මෙගාවොට් 70ක්.
මේ අතර මේ දිනවල සිදුවන විදුලි කප්පාදුවට තාවකාලික පිළියමක් ලෙස පෞද්ගලික සමාගම් තුනකින් මෙගාවොට් 100 ක හදිසි විදුලිය මිලදී ගැනීමටද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
රුපියල් 28 ත් 30 ත් අතර මිලකටයි විදුලි ඒකකයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇත්තේ.
එළඹෙන අගෝස්තු මාසයේදී ඇතිවිය හැකි වියලි කාලගුණ තත්ත්වයද ඉලක්ක කරගනිමින් මාස 6 ක් සඳහා අදාල සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නියමිත වීම විශේෂත්වයක්.
විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ තවත් මෙගාවොට් 220 කට වැඩි ප්‍රමාණයක් ඉදිරි දින කිහිපය තුළදී ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකිවුවහොත් විදුලි කප්පාදුව නවතා දැමීමට හැකිවනු ඇති බවයි.