Gossips

මූල්‍ය විනය කඩ කරන ඇමතිවරුන්ට දඬුවම් දිය යුතු බව ජනපති කියයි

පළාත් සභා ක්‍රමයේ අඩුපාඩු, සාර්ථක අසාර්ථකභාවයන් හදුනාගනිමින් ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීමට නම් එහි ආරම්යේ සිට මේ දක්වා කටයුතු පිළිබඳ අධ්‍යයනයක් සිදු කළයුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මේ පිළිබඳ තමා අමාත්‍යවරයෙක් ලෙස අවස්ථා දෙකකදී ම යෝජනා ඉදිරිපත් කළ බව ද මෙතෙක් කිසිවෙක් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු කර නොමැති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක් වෙමින්.
ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීමට මෙවන් වාර්තාවක් කඩිනමින් සම්පාදනය කිරීම අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.
වංචාව, දූෂණය සහ අක්‍රමිකතාව පිටුදැකීමේ අරමුණු සාර්ථක කර ගැනිමට නම් රට තුළ මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය විනය ඇතිකිරීම අත්‍යාවශ්‍ය බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නා.
මූල්‍ය විනය කඩකරන්නන්ට එරෙහි ව තරාතිරමකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.
වාර්ෂික ව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා වෙත යොමු කරන විගණකාධිපති වාර්තාවේ නිර්දේශ එම ආයතන තුළ ක්‍රියාත්මක නොවීම ගැටලූවක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
එබැවින් විගණකාධිපති වාර්තාවේ නිර්දේශ සහ යෝජනා අනිවාර්යයෙන් ම අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් ක්‍රියාවට නැංවිය යුතු අතර එසේ ක්‍රියාත්මක නොකරන අයට එරෙහිව දඩුවම් ලබාදීම පිළිිබඳව පාර්ලිමේන්තුව හරහා නීති සම්පාදනය කළ යුතු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී කථානායකවරයා වෙත යෝජනා කළා.
ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ වර්තමානයේදී රාජ්‍ය ආයතන විශාල වශයෙන් පාඩු ලැබීමට සහ කඩා වැටීම්වලට ලක්වීමට හේතු වී ඇත්තේ එම ආයතනවල බඳවාගැනීමේ පටිපාටිය සහ නීති රීති කඩකරමින් සිදුකරන අවිධිමත් බඳවා ගැනීම් බවයි.
ඊට එරෙහිව මෙතෙක් නිතිය ක්‍රියාත්මකවීමක් ද සිදු වී නොමැති අතර ඇතැම් අමාත්‍යවරුන් විසින් සිදුකරන එම අත්තෝමතික බඳවා ගැනීම් මගින් රටේ ජාතික ධනය විශාල වශයෙන් විනාශ වී යන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නා.