Gossips

මූල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරිපිට තිබූ, සුපිරි රථය නිදහස්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ භාවිත කර වෙනත් පුද්ගලයෙකුට අලෙවි කළ බව කියන ෆෝර්ඞ් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය අද මුදාහැරියා.
2016 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වැනිදා කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබී මෙම මෝටර් රථය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය භාරයට ගනු ලැබුවේ යෝෂිත රාජපක්ෂගේ වත්කම් පරීක්ෂා කිරීමේදී හෙළි වූ තොරතුරු අනුවයි.
වසර දෙකකට වැඩි කාලයක් එම මෝටර් රථය කොළඹ කොටුවේ පිහිටි මූල්‍ය අපරාධ කොට්ඨාශ ගොඩනැගිල්ල ඉදිරිපිට නවතා තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බැඳුම්කරයක් මත එම මෝටර් රථය මුදාහැරි බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
මෝටර් රථය මුදා හරින අවස්ථාවට එක්ව සිටි එහි වත්මන් හිමිකරුගේ නීතිඥයා වන ප්‍රේමනාත් සී. දොලවත්ත කියා සිටියේ අදාළ මෝටර් රථය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිමි වූ බලපත්‍රය යටතේ ගෙන්වා ඇති අතර, පසුව නිත්‍යානුකූලව වත්මන් හිමිකරු එය මිලදී ගෙන ඇති බවයි.
අලූත්වැඩියා කටයුතු සඳහා ගරාජයක ගාල් කර තිබියදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එය රැගෙන ගිය බව ද ඔහු සඳහන් කළා.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ වසර දෙකකට ආසන්න කාලයක් නඩු භාණ්ඩයක් ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාශය යටතේ පැවති මෙම මෝටර් රථය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය බැඳුම්කරයක් මත නිදහස් කළ බවයි.
ඒ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හෝ නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වයක් පළ නොකළ බව ඔහු කියා සිටියා.
මීට අදාළ නඩු විභාගය තවමත් අවසන් වී නොමැති බවත්, ඒ අනුව යළි දැනුම් දෙන ඕනෑම අවස්ථාවක මෝටර් රථය අධිකරණයට ඉදිරිපත් කිරීමේ එකඟතාව මත, බැඳුම්කරයකට අනුව එය වත්මන් හිමිකරු වෙත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.