මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින "ගජා" සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කිලෝ මීටර් 890 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.2 සහ නැගෙනහිර දේශාංශ 87.5 ආසන්නයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙය ඉදිරි පැය 24 තුල බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
මෙහි බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය වැඩි විය හැකි අතර මුහුද ද ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද (13) උදෑසන සිට ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා දෙසින් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර අගයක් ගන්නා අතර දිවයිනට උතුරු, නැගෙනහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩිවිය හැකි අතර එම අවස්ථාවල මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (13) උදෑසන 5.30ට නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.