Gossips

මුහුදු ප්‍රදේශවල වැසි තවදුරටත් – දිවයින අභ්‍යන්තරයේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි

දිවයිනට ගිනිකොණ දෙසින්වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවයි.
දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.