Gossips

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අද සිට බෙලිඅත්තට

කථාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිව තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව රටේ සියලු දේශපාලනඥයින් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
කථාකරන භාෂාව අනුව මිනිසුන් බෙදී වෙන් නොවිය යුතු බවයි, සරළ සිංහලට පරිවර්තනය කෙරුණු ශුද්ධ වූ අල්කුරානය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.
රටේ ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමේ වැඩපිළිවෙලේදී කථාකරන භාෂාව අනුව සමාජය තුළ සිදුව ඇති බෙදීම මහත් බාධාවක් බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
මේ අතර මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරෙනවා.
දකුණු ලකට අලුත් මඟක් යන තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවයේදී පෙරවරු 8.30 ට මාතර දුම්රිය ස්ථානයේදී පළමු ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීම සිදු කෙරෙනවා.
උදෑසන 9 ට මාතර බෙලිඅත්ත මාර්ගයේ මංගල දුම්රිය ගමන ආරම්භ කෙරෙනවා.
එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත ළඟාවීමෙන් පසු එහි ජාතික උත්සවය පැවැත්වෙන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම මාර්ගයේ දුම්රිය 7 ක් ගමන් කෙරෙන අතර, ඊට සාගරිකා, ගාලු කුමාරි සහ රජරට රැජිනද ඊට ඇතුළත්.
ලංකාවේ මෙතෙක් දුම්රිය මාර්ගයක වැඩිම දිගින් යුත් පාලම වන වටගම පාලම මෙම මාර්ගයේදී හමුවන අතර එය මීටර් 1500ක දිගින් යුක්තයි.
මෙම පාලම ගොඩබිම් ප්‍රදේශයක් හරහා ඉදිකර තිබීම විශේෂත්වයක්. මෙම දුම්රිය මාර්ගයේ මෙරට උසින් වැඩිම දුම්රිය පාලම වෙහෙරගොඩ ප්‍රදේශයේදී හමුවන අතර එහි උස අඩි 68ක්.