Gossips

මුලින්ම වෙඩි තැබූවේ භාරතගේ ආරක්ෂක ගාමිණී – මුලින්ම වෙඩි වැදුනේ දුමින්දට – රජයේ නීතීඥවරයා අධිකරණයට කරුණු කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසට පළමුව වෙඩි වැදුණු බවත්, භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමීණී නමැත්තා පළමුව වෙඩි තැබීම ආරම්භ කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නීතිඥ තුසිත් මුදලිගේ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ගොණුකළ අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනය අද යළිත් විභාගයට ගැනුණා.
ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ යි.
එහිදී නඩු තීන්දුව දීර්ඝ ලෙස විශ්ලේෂණය කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වා සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙක්.
ඔහු පැවසුවේ වෙඩි තැබීමේ සිද්ධිය භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරි ගාමිණී නමැත්තා පළමුව ආරම්භ කර ඇති බවයි.
භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරියාගේ එම පළමු වෙඩි තැබීම නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි වැදී ඔහු බිම ඇදවැටුණු බව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නීතිඥවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නා.
මීට ඉහත අභියාචනා විභාගවලදී ජනාධිපති නීතිඥවරුන් ද සඳහන් කළේ මහාධිකරණ නඩු විභාගයේදී සාක්ෂි ගණනාවකින් දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බව තහවුරු කළ බවත්, දුමින්ද සිල්වා මහතාගේ හිස ඉදිරිපසට වෙඩි වැදුණු බවට අධිකරණ වෛද්‍ය වාර්තා මගින්ද සනාථ කර ඇති බවත්ය.
ජනාධිපති නීතිඥවරුන් වැඩිදුරටත් සඳහන් කළේ සාක්ෂි හෝ කරුණු මත නොව, දුමින්ද සිල්වා මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක්වීම මත පදනම් වෙමින් නඩු තීන්දුව ලබා දී ඇති බව හා නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියවූවද දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කළේ මන්දැයි සොයාගත නොහැකි බවයි.
එමනිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වරදකරු කළ තීන්දුව සැබවින්ම නියම නඩු තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙන්වා දුන්නා.
ඔවුන් පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව තහවුරු වන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බවයි.
ජනාධිපති නීතීඥවරුන් තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සාවද්‍යව නිර්මාණය කරන ලද සිද්ධි හා සාක්ෂි මත පදනම් වෙමින් දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු හෙවත් විත්ති වාචික නොසලකා හරිමින් මහාධිකරණයේ නඩු විභාගය සිදුවී ඇති බවයි.
ඔවුන් පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගොනු කළ මෙම නඩුවේදී දුමින්ද සිල්වා මහතාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් නොලැබුනු බවයි.
ඊට අමතරව ජනාධිපති නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ඉදිරිපත් කළ සෑම සිද්ධියකම සාක්ෂි පරස්පර බවත් කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි සියයට සීයක් පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම සඳහන් බවයි.
චෝදනා පත්‍රයේ නොමැති කරුණු සඳහා දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කර ඇති බවත්, එය කිසිසේත්ම නීත්‍යනුකූල නොවන බව ජනාධිපති නීතිඥවරුන් ප්‍රකාශ කළා.
ඔවුන් සඳහන් කළේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ගෙතූ බොරු සාක්ෂිවල ලුහුඬුතා හා පරස්පරතා මහාධිකරණයේදී පෙන්වා දුන්නත් ඒවා නඩු තීන්දුවේදී නිසි සැළකිල්ලට ගෙන නොමැති බවයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ එලෙස ව්‍යාජ සිද්ධීන් නිර්මාණය කිරීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව දුමින්ද සිල්වා මහතාට අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවයි.
ගිනි අවි භාවිත කළ බවට දුමින්ද සිල්වා මහතාට චෝදනා ගොනු කර තිබූ අතර ඒ සඳහා කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බව ජනාධිපති නීතීඥවරුන් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නා.
ඊට අමතරව, ඡන්දදායකයින්ට ගිනිඅවි පෙන්වා බියගැන්වූ බවට චෝදනා කර තිබුණත්, දුමින්ද සිල්වා එවැන්නක් සිදුකර නොමැති බව අධිකරණයේද මතය වූ බව ජනාධිපති නීතිඥවරුන් තවදුරටත් පෙන්වා දුන්නේ නඩු තීන්දුව උපුටා දක්වමින්.
ඔවුන් පැවසුවේ එම නිසා පොදු අරමුණකින් කටයුතු කළ බවට කර තිබූ චෝදනාවෙන් ද දුමින්ද සිල්වා මහතා නිදහස් කළ යුතු බවයි.
භාරත ලක්ෂ්මන් පාර්ශ්වය විසින් පළමුව වෙඩි තැබීමෙන් පසු දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂකයින් ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීම සඳහා දෙවනුව වෙඩි තබා ඇති බව ජනාධිපති නීතීඥවරුන් පෙන්වා දුන්නා.
ඔවුන් සඳහන් කළේ එම සිද්ධියේදී දුමින්ද සිල්වා මහතා නිවැරදිකරු නිසා දුමින්ද සිල්වා මහතා කෙසේ හෝ වරදට පත් කිරීමේ චේතනාවෙන් ඉතා සාවද්‍ය සිද්ධීන් විමර්ශකයින් නිර්මාණය කළ බවයි.
ඒ බව නඩු විභාගයේදී පෙන්වා දුන්නද එම කරුණු මෙන්ම රස පරික්ෂක වාර්තාව ඇතුළු සාක්ෂිද නිසි විශ්ලේෂනයට ලක් නොකර දුමින්ද සිල්වා මහතාට දඩුවම් ලබාදී ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ නඩු තීන්දුව උපුටා දක්වමින්.
අභියාචනයේ වැඩිදුර විභාගය අනිද්දා යළි සිදුකිරීමට නියමිතයි.