Gossips

මුලතිව් තනි දළයා විදුලිසැර වැදී මරුට – හමුදා නිලධාරියෙකුත් අත්අඩංගුවට (ඡායාරූප)

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – තේරාවිල් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත්ව පැවති පළතුරු වත්තක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ඇතෙකු මියයාම සම්බන්ධයෙන් යුද හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වනජිවි නිලධාරින් විසින් මෙලෙස සිය භාරයට ගෙන ඇත්තේ අදාල වත්ත මේ වනවිට පාලනය කරන යුද හමුදා 683 බලසේනාංකයට අනුයුක්ත කපිතාන්වරයෙකු බවයි පොලීසිය සදහන් කළේ.
තනි දළයා ලෙස හඳුන්වන මෙම ඇතා ඊයේ (21) පෙරවරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, පසුව වනජිවි නිලධාරින් විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා.
අදාළ පළතුරු වත්තේ සිට ඒ ආසන්නයේ පිහිටි කෝවිල දක්වා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී ඇතා මියගොස් ඇති බවටයි පසුව හෙළි වුණේ.
අනතුරුව අදාළ කපිතාන්වරයා අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව ඇප මත මුදා හැර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු වයස 35 ක් පමණ වන මෙම ඇතාගේ අවසන් කටයුතු වනජිවි නිලධාරින් පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඊයේ (21) පස්වරුවේ සිදුකෙරුණා.
ඇතාගේ දළ මේ වනවිට මුලතිව් වනජිවි කාර්යාලය භාරයේ පවතින බවයි පොලීසිය කියා සිටියේ.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය / රොමේෂ් මදුසංක