ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන් මෙන්ම රොෂාන් මහානාම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මුත්තයියා මුරලිදරන් සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, රොෂාන් මහානාම අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්.
ඊයේ දිනයේදී හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද අමාත්‍යවරයාගේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර, ඔහු ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ක්‍රිකට් පද්ධතිය පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති බවයි.
ක්‍රිකට් ආයතනයේ, උපදේශකවරුන් ලෙස එක්වන්නැයි අමාත්‍යවරයා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂන් මහානාමගෙන් පසුගිය දා ඉල්ලීමක් කළා.
ඒ අතරතුර දඟ පන්දු යවනන්ගේ පුහුණු උපදේශකයකු ලෙස සේවට පැමිණෙන ලෙස මුත්තයියා මුරලිදරන්ගෙන්ද ඉල්ලීමක් කර තිබුණා.
එම ඉල්ලීමට මුරලි දක්වා තිබුනේ මෙවැනි ප්‍රතිචාරයක්.
"ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ ඉල්ලීම මම අගය කරනවා. නමුත් මම මේ ඉල්ලීම දකින්නේ ක්‍රිකට් ආයතනය තමාව පාවිච්චි කිරීමට කළ වංක කපටි උත්සහයක් ලෙසයි. මහේල කී පරිදි ඔවුන් දුන් නිර්දේශ බලධාරීන් ක්‍රියාත්මක නොකිරීම නිසා ක්‍රිකට් ආයතනයේ සහ අදාළ ක්‍රියාවලිය (system) මම විශ්වාස කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අන්තිම අඩියට කඩා වැටෙනකම් හිටපු ක්‍රීඩකයින්ගේ උපදෙස් ගැනීමට මතක් නොවීම ගැන කනගාටු වනවා. ක්‍රීඩා පරිපාලනය ගැන විශ්වාසයක් සහ අව්‍යාජ බවක් ගොඩනැගෙන තුරු ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු ලෙස කාර්ය බහුලව වී සිටින මම ඔවුන් සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.
මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් හිටපු ක්‍රීඩක රොෂාන් මහානාම ද ලැබුනු ඇරයුම පිළිබඳ අදහස් දක්වා තිබෙනවා.
එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ කමිටු පත් කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින ගැටලු විසඳීමට මූලිකව අවදානය යොමු කළ යුතු වන බවයි.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි පවතින ගැටලු කිහිපයක් පිළිබඳ දින කිහිපයකට පෙර අමාත්‍යවරයා දැනුවත් කළ බව ද මහානාම සඳහන් කර තිබෙනවා.
උපදේශකයන් ලෙසට එක්වන්නැයි ඉල්ලීම් කිරීම පිළිබඳ අගය කරන අතර කෙසේවෙතත් එම ඉල්ලීම ඉටු කිරීමට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කර තිබෙනවා.
පවතින ගැටලු විසඳන තෙක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම ඉටු කළ නොහැකි බවයි රොෂාන් මහානාම සිය ලිපිය මගින් දන්වා ඇත්තේ.