Gossips

මුදල් අමාත්‍යාංශය වැඩි කළ ඉන්ධන මිල, සංස්ථාව පැය කිහිපයකින් අඩු කරයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළත්, අද දහවල් වන විට පැවති මිලටම ඉන්ධන අලෙවි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා.
කෙසේ වෙතත්, අයි. ඕ.සී. සමාගම වැඩි කළ මිලට ඉන්ධන අලෙවි කරන බවයි එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ.
පෙට්‍රල් හා ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළේ පසුගිය මැයි මාසයේ හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රයට අනුවයි.
ඊයේ මුදල් අමාත්‍යාංශය සඳහන් කළ පරිදි රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 145 ක් ලෙසත්, රුපියල් 148 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 155 ක් ලෙසද ඉහළ දැමුණා.
එමෙන්ම, ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 109 සිට රුපියල් 118 දක්වා සහ සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 119 සිට රුපියල් 129 දක්වාත් ඉහළ දැමීමටයි පියවර ගැනුණේ.
කෙසේ වෙතත්, අද පස්වරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව චක්‍රලේඛයක් නිකුත් කරමින් ඉන්ධන පිරවුම්හල වෙත දන්වා තිබුණේ මාධ්‍ය ආයතනවල පළවන පුවත්පත් පදනම් කරගෙන ඉන්ධන මිල වෙනස් කිරීම සංස්ථාව හා බෙදුම්කරුවන් අතර පවතින ගිවිසුම බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය අද පස්වරුවේ සඳහන් කළේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි මිල සම්බන්ධයෙන් මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි.
කෙසේ වෙතත්, රාජ්‍ය ආයතන දෙකක් අතර පවතින මෙම අනවබෝධය හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඇතැම් පිරවුම්හල්වල අද පෙරවරුවේ වැඩි වූ මිලට ඉන්ධන අලෙවි කෙරුණා.
මේ අතර සියලුම ඉන්ධන බෙදුම්කරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ බෙදුම්කාරත්වධුර ගිවිසුම්පත අනුව සංස්ථාවේ ලිඛිත අවසරයකින් තොරව ඉන්ධන මිල ගණන් සංශෝදන කිරීමට පිරවුම්හල්වලට නොහැකි බවයි.
පුවත් පදනම් කර ගනිමින් ඉන්ධන මිල ගණන් වෙනස් කිරීම කිසිසේත් සිදු නොකළ යුතු අතර එය බෙදුම්කාර ගිවිසුම බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බව ද එම නිවේදනයේ දැක්වෙනවා.