Gossips

මුතුපන්තිය යළිත් අවධානමක

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මුතු පන්තිය දූපත යළිත් වතාවක් මුහුදට බිළිවීමේ තර්ජනයක් මතුවී තිබෙනවා.
බටහිරෙන් මුහුදට සහ නැගෙනහිරෙන් හැමිල්ටන් ඇලට මැදි වූ මුතු පන්තිය දූපතේ පවුල් 150 ක් පමණ වාසය කරන අතර, ඔවුන් වැඩිදෙනා ධීවර කර්මාන්තයේ නිරත වන්නන්.
මුතු පන්තිය දූපතේ බටහිර වෙරළ තීරය සෑම වසරකම මාර්තු, අප්‍රේල් මාසවලදී ඛාදනයට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ.
සාමාන්‍ය ආකාරයට වාරකන් සමයේදී වෙරළ ඛාදනය සිදුවූවත්, මුතු පන්තිය දූපතේ වෙරළ ඛාදනය සිදුවන්නේ වලාල සමයේදී වීම විශේෂත්වයක්.
පසුගිය වසර දෙකක පමණ කාලය තුළ මුතු පන්තිය දූපතේ කිලෝමීටර් 2 ක් පමණ වන වෙරළ තීරය මුහුදු ඛාදනයට ලක්වූ අතර, ඒ හේතුවෙන් වෙරළාසන්නයේ තිබූ නිවාස කිහිපයකට ද හානි සිදුවුණා.
ඒ පිළිබඳව බලධාරින් මැදිහත්ව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වෙරළ ඛාදනය වන ස්ථානවලට ගල්වැටි යෙදීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ නමුත්, එලෙස ගල්වැටි දමා අවසන් වූ ස්ථානයකින් වෙරළ ඛාදනය යළි ආරම්භ වී ඇති බවයි දූපත්වාසීන් සදහන් කළේ.
මුතු පන්තියේ සිට උඩප්පුව දක්වා වෙරළ ආසන්නයෙන් ඇති මාර්ගයේ කොටසක් ද මේ වනවිට මුහුදට බිලිවී ඇති අතර, වෙරළ ඛාදනය වළක්වා ගැනීම සදහා දූපත්වාසීන් වැලි කොට්ට යොදා බාධක යොදා ඇති අයුරුද දක්නට ලැබෙනවා.
දූපත්වාසීන් පෙන්වා දෙන්නේ මුතු පන්තියේ දූපතේ අවසන් වන උඩප්පුව මෝය දක්වා ස්ථිර ගල්වැටියක් යෙදීම පවතින තත්ත්වයට එකම විසඳුම බවයි.