Gossips

මිහින්තලා පුද බිමේ දාගැබක් මත නැගී ඡායාරූප ගත් දෙදෙනා රිමාන්ඩ්

අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, සැකකරුවන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ඊට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කරනු ලැබුවා.
එමෙන්ම ඡායාරූප ලබාගෙන ඇති චෛත්‍ය පිහිටි භූමිය පිළිබඳ පුරාවිද්‍යා වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර සහකාර පුරාවිද්‍යා කොමසාරිස්වරයාට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබෙනවා.
මුතූර් ප්‍රදේශයේ පදිංචි 18 සහ 20 හැවිරිදි මෙම තරුණයින් දෙදෙනා ඊයේ උදෑසන මෙලෙස දාගැබ මත නැග ඡායාරූප ගැනීමේදීයි පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාර දෙනු ලැබුවේ.
නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනා විනෝද චාරිකාවක් සදහා මිහින්තලයට පැමිණ තිබෙනවා.
දාගැබ මත නැගුණු එක් සිසුවෙකුගේ ඡායාරූප අනෙක් සිසුවා විසින් ලබාගෙන ඇති අතර, ඒවා ඔවුන්ගේ ජංගම දුරකථනවල සටහන් වී තිබුණු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මීට පෙර ද අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ හොරොව්පතාන – කිරලාගල දාගැබ මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන්.
පසුව, ඔවුන් 8 දෙනා රුපියල් 50,000 බැගින් දඩ නියම කර මුදා හැරීමටයි අධිකරණය පියවර ගනු ලැබුවේ.
එමෙන්ම, තරුණයින් පිරිසක් ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියක් ද පසුගිය කාලය තුළ වාර්තා වූ අතර ඔවුන් ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.