Gossips

මිහින්තලා පුදබිමේ දාගැබක් මත නැගී, ඡායාරූප ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගත් තරුණයින් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුතූර් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින් දෙදෙනා අද උදෑසන මෙලෙස දාගැබ මත නැග ඡායාරූප ගෙන ඇති බවටයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පොලීසියට දැනුම්දී ඇත්තේ.
නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන මෙම සිසුන් දෙදෙනා විනෝද චාරිකාවක් සදහා මිහින්තලයට පැමිණ තිබෙනවා.
දාගැබ මත නැගුණු එක් සිසුවෙකුගේ ඡායාරූප අනෙක් සිසුවා විසින් ලබාගෙන ඇති අතර, ඒවා ඔවුන්ගේ ජංගම දුරකථනවල සටහන් වී තිබුණු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මීට පෙර ද අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ හොරොව්පතාන – කිරලාගල දාගැබ මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන්.
පසුව, ඔවුන් 8 දෙනා රුපියල් 50,000 බැගින් දඩ නියම කර මුදා හැරීමටයි අධිකරණය පියවර ගනු ලැබුවේ.
එමෙන්ම, තරුණයින් පිරිසක් ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියක් ද පසුගිය කාලය තුළ වාර්තා වූ අතර ඔවුන් ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.