Gossips

මිශ්‍ර බලශක්ති සැලැස්ම ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩලයට

ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැළසුම්වලට අදාළ මිශ්‍ර බලශක්ති සැලැස්ම අනුමැතිය සඳහා මීළඟ අමාත්‍ය මණ්ඩල හමුවට යොමුකිරීමට නියමිත බව වාර්තාවනවා.
නව ගල්අඟුරු බලාගාර ඇතුලත් මෙම සැලැස්ම සම්බන්ධයෙන් පසුගිය සතියේ ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.
ඒ සඳහා ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍ය සරත් අමුණුගම, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ප්‍රධානීන් මෙන්ම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුලූ වෘත්තිය සමිති නියෝජිතයන්ද එක්ව තිබෙනවා.
මිශ්‍ර බලශක්ති සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බවටයි එහිදී තීරණය වී තිබෙන්නේ.
අදාළ තීරණය ජනාධීපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.
ඒ, අදාළ සැළැස්ම අනුමත කිරීම සඳහායි.
ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලැස්ම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ මහජන උපයෝගීතා කොමිසම අතර මතභේදකාරී තත්ත්වයක් පැන නැගී තිබුණා.
ඒ, ගල් අඟුරු බලාගාර ඇතුළත් දිගුකාලීන ජනන සැලැස්මට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය නොලැබීම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් අප ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් විමසීමක් කළා.
එහි සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ මහජන උපයෝගීතා කොමිසන් සභාව විදුලි ජනන සැලැස්ම අනුමත කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් එළඹෙන 8 වනදා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවන බවයි.