Gossips

මිල අර්බුදයට, තෙල් සංස්ථාව කඩිනම් විකල්පයක් ඉල්ලයි

මිල අර්බුදය විසඳාගැනීම සඳහා කඩිනම් විකල්පයක් ලබාදෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ සඳහන් කළේ මෙහිදී මිල සූත්‍රයක් හෝ බදු අඩුකිරීමක් අපේක්ෂා කරන බවයි.
ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඞීසල් මිල පසුගියදා ඉහළ දැමුවා. ඒ, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඞීසල් ලීටරයක් රුපියල් 5කින්.
කෙසේ වෙතත් මෙම මිල ඉහළ දැමීමට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල සංශෝධනයක් සිදුකළේ නැහැ.
පවතින තත්වය මත පාරිභෝගික ඉල්ලූම වැඩිවීම හේතුවෙන් දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක් සිදුවන බවයි එම සංස්ථාව පසුගියදා ප්‍රකාශ කළේ.
ඒ අනුව මිල සූත්‍රයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡාවට කිහිපයක් පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත් අවසන් තීරණයකට එළඹීමට මේ වනතුරුත් කටයුතු කර නැහැ.
පවතින තත්වය හමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය අර්බුදය තවදුරටත් වර්ධනය වන තත්වයක් පවතින බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ සඳහන් කළේ.
එම නිසා පසුගිය සතිය වනවිට ඉන්ධන මිල සූත්‍රයක් හෝ බදු අඩුකිරීමක් කඩිනමින් සිදුකරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.