Gossips

මිලියන 2700 ක හෙරොයින් රැගෙන ආ ටෝලර් යාත්‍රාවත් අල්ලයි – සැකකරුවන් දින 7 ක් රැඳවා ගනී

වසරේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 430 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
ඒවායේ වටිනාකම රුපියල් මිලියන 5166 ක්. එමෙන්ම, දැනට වසරේ මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 37,304 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙරටදී හමුවූ දෙවන විශාලතම හෙරොයින් තොගය පිළිබදව දැනුවත් කිරීම සදහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ.
මේ අතර, ඊයේ බේරුවල මුහුදේදී යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගැනුනු රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරොයින් තොගය මෙරටට රැගෙන ආ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළේ.
ඒවා පාකිස්ථානයෙන් මෙරටට රැගෙනවිත් ඇති අතර, ජාත්‍යන්තර මුහුදු තීරයේදී හෙරොයින් තොගය කුඩා යාත්‍රාවකට හුවමාරු කර තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී අදාළ මත්කුඩු ගොඩබිම වෙත රැගෙන එමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුන අතර, 34 සහ 38 හැවිරිදි ඔවුන් බේරුවල ප්‍රදේශයේම පදිංචිකරුවන්.
පැකට් 214 ක රැගෙන ආ කිලෝ 231 යි ග්‍රෑම් 54 බරැති හොරොයින් තොගය අසුරා තිබුණේ පාකිස්ථානයේ නිෂ්පාදිත සීනි ඇසුරුම්වලයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිව තිබෙනවා.
එමෙන්ම ජාත්‍යන්තර මුහුදු තීරයේදී අදාළ හෙරොයින් තොගය කුඩා බෝට්ටුවට ලබාදුන් ටෝලර් යාත්‍රාව ද අත්අඩංගුවට ගෙන මේ වනවිට බේරුවල වරායට රැගෙන එමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.
මේ අතර, ගල්කිස්ස – කල්දෙමුල්ල මංසන්ධියේ සිය නිවස තුළදී ඊයේ වෙඩි තබා ඝාතනය කළ ළහිරු සදරුවන් නමැති 30 හැවිරිදි පුද්ගලයා දිනකට හෙරොයින් පැකට් 500 කට වැඩි ප්‍රමාණයක් අලෙවි කර ඇති බවට වාර්තා වනවා.
ඊයේ රාත්‍රියේ 9.20 ට පමණ ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
ඝාතනය අගුලානේ අංජු නැමති සංවිධානාත්මක අපරාධ කල්ලිය විසින් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
ඔහු ගොනාකෝවිලේ රොහා නැමති පුද්ගලයා මෙහෙයවන අපරාධ කල්ලියේ සාමාජිකයෙකු බවට හෙළිවී ඇති බව සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.