Gossips

මිරෙද් අල් හුසේන් කුමරු උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීම නිරීක්ෂණය කරයි (ඡායාරූප)

දිවයිනේ නිල සංචාරයකට එක්ව සිටින පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් අල් හුසේන් කුමරු අද කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීම පිළිබඳ නිරීක්ෂණය කළා.
අප වාර්තාකරු සඳහන් කළේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත ආයතන නියෝජිතයන් සමග ද එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මිරෙද් අල් හුසේන් කුමරු සාකච්ඡා කළ බවයි.
බිම් බෝම්බ හේතුවෙන් ආබාධිත තත්වයට පත් පුද්ගලයන් සමග ඔහු සුහද පිළිසඳරක ද නිරතවී තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මිරෙද් අල් හුසේන් කුමරු පැවසුවේ ශ්‍රී ලංකා රජය ඉතා හොඳින් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුකර ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඊට ආධාර සපයන රටවල් තවදුරටත් සහයෝගය දක්වනු ඇතැයි බලාපොරොත්තුවන බව ද ඔහු කියාසිටියා.
ජාතික බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ක්‍රියාකාරි නිළධාරී එන්.ඩී.ඉද්දමල්ගොඩ පැවසූවේ යුද්ධයෙන් අනතුරුව මේ වන විට මුහමාලෙයි ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 1.6 ක ප්‍රමාණයක සම්පූර්ණයෙන් බිම්බෝම්බ ඉවත් කොට ඇති බවයි.
එමෙන්ම වර්තමානයේදී එම ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 3.3 ක බිම් බෝම්බ ඉවත් කිරීම සිදුකරමින් පවතින බව ද ඔහු සඳහන් කළා.
මුහමාලෙයි ප්‍රදේශයේ තවත් වර්ග කිලෝමීටර් 1.5 ක බිම් බෝම්බ ඉවත් කිරීමට නියමිත අතර, මේ වන විට ප්‍රදේශයේ තිබ් බිම් බෝම්බ 58,122 ක් ගොඩගෙන ඇති බවයි එන් ඩී ඉද්දමල්ගොඩ මහතා ප්‍රකාශ කළේ.





ඡායාරූප – වව්නියාව මාධව කුලසුරිය