Gossips

මිය ගිහින් වසර 25කට පසු මෙරටට පැමිණි දේහය (ඡායාරූප)

මීට වසර 25කට පෙර ඉතාලියේ දී මියගිය පුද්ගලයෙකුගේ දේහය මෙරටට රැගෙනවිත් මිහිදන් කළ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පසුගිය 06 වනදා අදාල සිරුර යාපනයට රැගෙනවිත් මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ විසින් එය මිහිදන් කිරීමට කටයුතු කර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
යාපනය, චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැති 49 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකුගේ දේහයයි මෙලෙස වසර 25කට පසු මෙරටට ගෙනවිත් ඇත්තේ.
අදාල පුද්ගලයා ඉතාලියේ රැකියාවක නිරතව සිටියදී හදිසියේ රෝගාතුරව 1994 වසරේ මැයි 24 වනදා මිය ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු මියගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ යුද්ධය පැවතීම හේතුවෙන් දේහය මෙරටට ගෙන ඒමට නොහැකිව ඇති අතර මෘත දේහ සුරක්ෂිත කිරීමේ සමාගමක් විසින් අදාල දේහය අවුරුදු 25කට ආරක්ෂාකාරීව තබා ගැනීමට ගිවිසුම් ගතව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙරට පැවති යුද්ධය මීට වසර 10කට පෙර අවසන් වුවද සිරුර සුරක්ෂිත කිරීමේ ගිවිසුමට අනුව වසර 25ක් ගතවන තුරු අදාල සිරුර නිදහස් කළ නොහැකි බව
සමාගම සඳහන් කර තිබෙනවා.
ඒ අනුව වසර 25ක කාලයක් තුල මළ සිරුර ඉතාලියේ සුරක්ෂිතව තිබූ අතර පසුගියදා අදාල වසර 25 සපිරීමෙන් අනතුරුව එය ඥාතීන් වෙත භාරදීමට කටයුතුකර ඇති බව සඳහන්.
සිරුර මෙරටට ගෙන්වා අවසන් ගෞරව දක්වා මිහිදන් කිරීමට මිය ගිය ස්ටීවන් ජෝර්ජ් නැමැත්තාගේ බිරිඳ කටයුතු කර තිබෙනවා.


ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය