Gossips

මින්නේරිය ජාතික වන උද්‍යානය තාවකාලිකව වැසෙයි

වනජීවී නිලධාරීන් පිරිසකට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබෙනවා.
එහි භාරකරු භාතිය මඩුගල්ල කියා සිටියේ ඊයේ පස්වරුවේ ඇතිවූ සිද්ධියත් සමඟ තුවාල ලැබූ වනජීවී නිලධාරීන් තුන්දෙනෙකු මේ වනවිට හබරණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
වනෝද්‍යානයේ පිහිටි මින්නේරිය වැවේ මසුන් මරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ පස්වරුවේ පිරිසක් මින්නේරිය වනජීවි කාර්යාලය වටලා විරෝධතාවක නිරතවුණා.
එහිදී වනජීවී නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් හටගත් අතර, එය විසඳනු ලැබුවේ පොලීසිය මැදිහත්වීමෙන්.
පහරදීමට විරෝධය පළ කරමින් වනජීවී නිලධාරීන් මෙතෙක් සේවයට වාර්තා කර නොමැති අතර, ඒ හේතුවෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමුණු බවයි එහි භාරකරු භාතිය මඩුගල්ල කියා සිටියේ.