Gossips

මැලේසියාවේ හිටපු අගමැතිට රටින් පිටවීම තහනම්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් සහ ඔහුගේ බිරිඳ රොස්මා මන්සූර්ට රටින් පිටවීම තහනම් කර ඇති බව වාර්තා වනවා.
මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ හිටපු අගමැති නජීබ් රසාක්ට මූල්‍ය දූෂණ චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඒ පිළිබද පරීක්ෂණ ඔහුගේ පාලන කාලය තුළ ක්‍රියාත්මක වූයේ නැහැ.
හිටපු අගමැතිවරයා සිය ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුවලට සටහන් එක් කරමින් සඳහන් කර ඇත්තේ තමාට සහ පවුලේ සාමාජිකයන් රටින් පිටවීම බලධාරීන් විසින් වළක්වා ඇති බවයි.
හිටපු අගමැති නජීබ් රසාක් සිය පවුලේ සාමාජිකයන් සමඟ අද සිට සතියක කාලයක් විදේශයන් හි ගත කරන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
මැලේසියාවේ පසුගිය දා පැවති මහ මැතිවරණයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ්ගේ නායකත්වයෙන් යුත් විපක්ෂය බලයට පැමිණියේ ද නජීබ් රසාක් රජයට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන්.
92 හැවිරිදි මහතීර් මොහොමඞ් විසි දෙවසරක් එරට පාලනය කළ අතර මැලේසියාව ආසියාකරයේ ආර්ථික බලවතෙකු කිරීමට දායක වුණා.
එහෙත් හිටපු අගමැති නජීබ් රසාක්ගේ පාලනය යටතේ බිහි කළ වන් – එම්.ඩී.බී. හෙවත් මැලේසියානු සංවර්ධන අරමුදල මගින් දැවැන්ත මූල්‍ය දූෂණ සිදුවූ බවට චෝදනා එල්ල වනවා.
එම අරමුදලේ ඩොලර් මිලියන 3.5ක මුදලක් අවභාවිත වී ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා ප්‍රකාශ කළා.
හිටපු අගමැති නජීබ් රසාක්ගේ පෞද්ගලික ගිණුම්වලට ඉන් ඩොලර් මිලියන 700ක් පමණ බැර වී ඇති බවයි පසුව අනාවරණ වූයේ.