Gossips

මැයි දින සැමරුමට සියල්ල සූදානම්

මෙවර මැයි 1 වනදා වෙනුවට මැයි 7 වනදා ලෝක කම්කරු දින සැමරුම පැවැත්වීමට රජය තීරණය කළේ වෙසක් පුන් පොහෝ දිනයට පැවැත්වෙන ආගමික කටයුතුවලට බාධාවක් වන බව පවසමින්.
ඒ අනුව පක්ෂ රැසක හෙට දිනයේ කම්කරු දින සැමරුම් උත්සව ප්‍රදේශ කිහිපයකදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය හෙට පස්වරු දෙකට මඩකලපුව – චෙන්කල්අඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
මැයි දින සැමරුමේ සූදානම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ දිවයිනේ සියලූ ප්‍රදේශවලින් පාක්ෂිකයින් මැයි දින රැළියට සහභාගි වනු ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන මැයි දින සැමරුම ගාල්ල – සමනල ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි.
පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ද මෙම රැළියට සහභාගිවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම කියා සිටියේ.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය හෙට මධ්‍යහ්න 12 ට බොරැල්ල කැම්බල් පිටිය අසළින් ආරම්භ වනවා.
අනතුරුව මැයි දින රැළිය එදින පස්වරු 3 ට කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැත්වෙනු ඇති.
ජාතික හෙළ උරුමය සංවිධාන කරන මැයි දින පෙළපාලිය හෙට පෙරවරු 9 ට කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටින් ආරම්භ කෙරෙන අතර, මැයි දින රැළිය එදින පෙරවරු 10.30ට කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.