Gossips

මැයි දිනය කල් ගියත්, පක්ෂ කිහිපයකින් සැමරුම්

වහල්බවේ යදම් කොතරම් ශක්තිමත් වුවද නිදහස උදෙසා වන අධිෂ්ඨානය සහ සාමූහික මිනිස් ජවය ඉදිරියේ ඒ යදම් කඩා බිඳ දැමිය හැකි බවට රුධිරයෙන් සටහන් තැබූ චිකාගෝ කම්කරු නැඟී සිටීම මුල් කරගත් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකාව වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලෝක කම්කරු සංවිධානය ඇතුලූ ජාත්‍යන්තර සංවිධානවල එකඟතා සහ නිර්ණායකවලට අනුකූලව සහයෝගයෙන් කටයුතු කරන රටක් බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අදට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නුතන සන්නිවේදනය, තාක්ෂණික දියුණුව සමඟ ශ්‍රමය සම්බන්ධ අගය සහ එහි භාවිතය වඩාත් පුළුල් වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
වැඩකරන ජනතාව යනු තවදුරටත් කම්හලේ, ගොවිපලේ පමණක් වැඩෙහි නියැලෙන අය නොවන බවද අග්‍රාමාත්‍යවරයා එමඟින් පෙන්වා දෙනවා.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද ලෝක කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙරට වැඩකරන ජනතාව අද අභියෝග රැසකට මුහුණදෙන බවයි.
රාජ්‍ය අංශය හකුළා ගැනීමට උත්සාහයක් ක්‍රියාත්මක අතර, රටේ ආර්ථිකය පරිහානියට ලක්වීමද ඊට හේතුවක් බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනතා විමුක්ති පෙරමුණ ද කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලොව පුරා මෙන්ම ලංකාවේ ද ධනේෂ්වර පක්ෂ සහ පාලකයන් ලෝක කම්කරු දිනයේ අර්ථය විකෘති කොට එය තම පටු දේශපාලන අරමුණු සඳහා යොදා ගනිමින් සිටින බවයි.
පීඩිත ජනතාවගේ දිනා ගත් අයිතීන් පවා ධනපති ක්‍රමය තුළ අහෝසි වෙමින් පවතින අතර, කම්කරු දිනයේ අයිතිය එහි සතුරන්ගෙන් බේරා ගැනීමේ සටනක් ද වැඩ කරන ජනතාව ඉදිරියේ පවතින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළා.
ලෝක කම්කරු දිනය අදට යෙදී තිබුණත් මෙරට කම්කරු දින සැමරුම ලබන 7 වනදාට යොදාගැනීමට රජය කටයුතු කරනු ලැබුවේ වෙසක් සතිය යෙදී තිබීම හේතුවෙන්.
මේ හේතුව නිසා කම්කරු දින පෙළපාලි සහ සැමරුම් දින එදිනට යොදාගන්නා ලෙසයි රජය දැනුම් දුන්නේ.
කෙසේ වෙතත් ඇතැම් දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති අද දිනයේදී සැමරුම් සිදුකිරීමට සූදානම් කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ, යාපනය මහ නගර සභා ක්‍රීඩා පිටියේ මෙවර මැයි දින සැමරුම පැවැත්වීමටයි අද කටයුතු යොදා ඇත්තේ.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානය ද යාපනය – වඩමාරච්චි ප්‍රදේශයේදී අද මැයි දිනය සැමරීමට නියමිතයි.
ලෝක කම්කරු දින සමරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට – අභයරාමයේදී අද පස්වරු 2ට බෝධි පූජාවක් සංවිධාන කර තිබෙනවා.
මිය ගිය කම්කරු නායකයන්ට පිං පැමිණවීම එහි අරමුණ බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
සමාජවාදී ජනතා පෙරමුණ සහ රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පස්වරු 3ට නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී මැයි දින සැමරුමක් සංවිධාන කර තිබෙනවා.
මීට අමතරව ඇත්ත වෙනසකට වමේ බලයක් යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි පෙළපාලිය පෙරවරු 11ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසළින් ආරම්භ වන අතර මැයි රැළිය පස්වරු දෙකට පැවැත්වීමට නියමිතයි.