Gossips

මැදිරිගිරියේ ළමයින් පැහැරගැනීමේ ජාවාරමක්

මැදිරිගිරිය – මීගස්වැව – විහාරගම ප්‍රදේශයේ ළමයින් පැහැරගැනීමට උත්සාහ කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තාවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ මෙම සිද්ධීන් පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇති බවයි.
සිද්ධීන්වලට මුහුණදුන් බව කියන දැරියන් දෙදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් තමුන් පැහැරගැනීමට උත්සහ කළ බවයි.
එමෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් කියා සිටියේ දරුවන් පැහැරගැනීමට උත්සහ කිරීම හේතුවෙන් ඔවුන් උපකාරක පන්තිවලට හෝ යැවීමට බියක් ඇතිවී ඇති බවයි.
මැදිරිගිරිය – මීගස්වැව විහාරගම ප්‍රදේශයේ සිදුවන බව කියන මෙම සිද්ධීන් පිළිබඳව අප ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ගෙන්ද විමසා සිටියා.
ඔවුන් සඳහන් කළේ වාර්තාවී ඇති එවැනි සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මේ අතර බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවා සොයා බලංගොඩ පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් යළි පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම දරුවා අතුරුදන්වූ බවට වාර්තාවූයේ පසුගිය ජූලි මස 20 වනදායි. මෙතෙක් සිදුකළ මෙහෙයුම්වලදී දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තාවී නැහැ.